Friday, September 6, 2013

බයිට්


බයිට් වීම සහ බයිට් කිරීම ගැන පහුගිය දිනවලදී මහා විසාල කළබගෑනියක් අහන්නට, දකින්නට ලැබුනේය. බස්සිට මතක හැටියට නම් බයිට් කිරීම කියන ක්‍රියාපදය සිංහල වදන් පොතට එක්කාසු වූයේ දැනට අවුරුදු දහයකට පහළොවකට කලින්ය.

අපේ තාත්තා නම් බයිට් එක කියන්නේ යාලුවොත් එක්ක සෙට් වී මදුවිතක් තොලගාන විට ගන්නා කටගැස්මට ය. තාත්තා බයිට් ඉල්ලනකොට අම්මාගේ මූණ නම් බලන්ට ලස්සනය. බයිට් වලින් බස්සි කැමතිම එළවලු බයිට් එක සහ සුදුලූණු බයිට් එකටය. මඤ්ඤොක්කා පෙති හීනිවට කපා, ලුණු වතුරේ දමා, ගැඹුරු තෙලේ බැද ගෙන, ඒකට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු ඉහගත්තාමත් මරු බයිට් එකක් ලැබෙන්නේය. බස්සිට වගේම බස්සාටත් බයිට් ලොරියකට වුනත් වගකියන්නට පුලුවන්ය.




 
ඉස්කෝලෙ කාලේ ජොලියට යාලුවන්ට ඉඳහිටලා අහිංසක බයිටක් දුන්නා මතකය. උන්ව බයිට් කරන්නට ගොස් අපි ඇදගෙන නා ගත් අවස්ථාද නැතුවාම නොවේය.


ඒ ලෙවල් පන්තියේදි දවසක් බස්සිගේ ගජයෙක් වූ "බැටිස්ටාර්" (ඒ උගේ නික් නේම් එකය.) ඇබ්සන්ට් වුනේය. බස්සිලාගේ ක්ලික් එකේ උන් ඌට ගොන් බයිටක් දෙන්නට ප්ලෑන් කලේය. ප්ලෑනේ හැටියට ක්ලික් එකේ අනිත් උන් අට දෙනාම බැටිස්ටාර්ට විනාඩි දහයෙන් දහයට කෝල් කල යුතුය. කෝල් කර උදේ රැස්වීම වෙලාවේ ප්‍රින්සිපල් මයික් එකෙන් ගමටම ඇහෙන්න කෑ ගසා ඒකාව සෙවූ බවට පචයක් කෙලිය යුතුය.




වැඩි හොඳට කට්ටිය පැලෑන කොළයකද සටහන් කලේ මේ විදියටය.

6.30 - මලියා
6.40 - කිරිහාමි
6.50 - දුකා
7.00 - රේ මිස්ටීරියෝ
7.10 - නෝ ලිමිට්
7.20 - ලිමිට්
7.30 - රඟ සොබා
7.40 - ඩිලූ



අනේ ඉතින් පෙරුම් පුරා ගෙදර ගිහින් 6.30ට මලියා බැටිස්ටාර්ට කෝල් කොරන්නට හදන විට උගේ ලයින් එක එන්ගේජ් ය. මලියා ටිකක් සිහිකල්පනාව ඇති එකා නිසා 6.35 වනතුරු ට්‍රයි කර වැඩේ අත් ඇරියේ 7.50 ට ලිස්ට් එකේ අන්තිමට වැඩේ දෙන්න හිතාගෙනය.


6.40ට කිරිහාමියා තමන්ගේ වාරය ලබාගත්තේය.



 
"හෙලෝ..."

"හෙලෝ බැටියා. මම කිරිහාමි කතා කරන්නෙ. ඇයි අද ආවෙ නැත්තෙ??"

"කම්මැලි හිතුනා මචං. මොකෝ මේ තකහනියෙම කෝල් කලේ? මං ඊයෙත් උඹලට කියලනෙ ආවෙ අද එන්නෙ නෑ කියල."

"මේ.... මේ.... නිකම් අනේ.... නෑ නෑ. ඔයාට අද සිස්ටර් එසෙම්බ්ලි එකේදි බැන්නා ටිකක්. බය වෙන්න එපා. හෙට උදෙන්ම ඔෆිස් එකට එන්න කියන්න කිවුවා."

"මට?? අනේ පලයන් යන්න."

"ඇයි අනේ ඔයාට මලියාත් හය හමාරට කෝල් කරලා කිවුව නේද? ඔයාට ඒත් ෂුවර් නැද්ද? තව ටිකකින් දුකා කෝල් කලාම අහන්න බොරුනම්."

 
ඉන් එහාට අපි හත්දෙනාට වුන හරිය කියන්නට වචන නැත. කිරිහාමියා තමන්ට සුදුසුම නම කිරිහාමි බව නැවත වතාවක් ඔප්පු කලේත්, ඌත් නාගෙන අපිවත් නෑව්වේත් එහෙමය.


කැම්පස් එන්නට පටන් ගත්තුම කාලයේ විකාශය වූ එයාර්ටෙල් ඇඩ් එකකින් "බයිට් ෆ්‍රෙන්ඩා" යනුවෙන් අලුත් වචනයක් හඳුන්වා දී තිවුනු ආකාරය මතකය. අපි නම් එක එකාව මාරුවෙන් මාරුවට බයිට් කර අපිද ඉඳහිට බයිට් වනවා මිසක් එකෙක්ට "බයිට් ෆ්‍රෙන්ඩා" ලෙස ඔටුනු පලන්දා නැත්තේය.


ඔය කාලයේම බයිට් කලාව මාධයටත් රිංගන්නට විය. බස්සිට මතක විදියට නම් කෝල් කර බයිට් කිරීම මුලින්ම පටන් ගත්තේ "සිරස එෆ්.එම්." එකේ "දහසක් මල්" වැඩසටහනෙන්ය. ඉන්පසුව ආපු පට්ටම එෆ්.එම්. බයිට් එක "හූ ඊස් ස්පීකිං - විත් පැස්බරා" ය.




සජීවීව විකාශය වූ මේ වැඩසටහන් වලදී බයිට් වූයේ බයිටට ඉලක්ක වූ පුද්ගලයා පමණක්ම නෙමේය. බයිට දෙන නිවේදකයා හෝ නිවේදිකාව ඇදගෙන නාපු අවස්ථා ඕනෑ තරම්ය. ඒවාද එඩිට් නොකර නැවත විකාශය කරන්නට තරම් උන් නිහතමානීද වූහ. සමහර උන් අමු සිංහලෙන් බැණ අඬගැසූ අවස්ථාද, එවිට බැනුම උඩින් වහවහා වෙළඳ දැන්වීමක් විකාශය කල අවස්ථාද එමටය.

එහෙත් ටෙලිවිශන් බයිට් කලාව ඉන් අඩියක් ඉදිරියට තබා ඇත්තේය. ඒ තබන ලද අඩියේ සදාචාරාත්මක භාවය පිළිබඳ හිතට දැනෙන්නේ කුකුසක්ය. එකෙක් දෙන්නෙක් මලත් තමන්ගේ නාලිකාවට හිට්ස් වැඩිවෙනවානම් ඒ ඇති වාගේය.




ළඟම මිතුරෙක්ට බයිටක් දෙන්නේ ඒකා සිටින තත්වය ගැනත්, බයිටේ කැපෑසිටිය ගැනත් අවබෝධයක් සහිතවය. අපි ඊයේ බූට් එකක් කාපු යාලුවාට, උදේ විභාගේ ෆේල් බව දැනගත් යාලුවාට, උණ ගැනී ඉස්පිරිතාලේ යන යාලුවාට බයිට් දෙන්නට යන්නේ නැත.


ඒකට කියන්නේ විහිලු නොදන්නාකමවත්, බුම්මට්ටකමවත් නෙමේය. ඒ මනුස්සකමය.

27 comments:

  1. Replies
    1. තැන්කූ තැන්කූ අයියා.....

      Delete
  2. ha ha keep writing. Your post made my day :)

    ReplyDelete
    Replies
    1. Happy to hear that sis. I will surely do. KIT!!

      Delete
    2. බස්සි kora ah

      Delete
    3. කොර? අනේ තවමනම් බස්සිගෙ තටු දෙක හොඳට වැඩ. :P

      Delete
  3. බස්සි මේ සුදුළූනු බයිට් එකනම් මසුරන්ය.මට ඕක පළමුවෙන්ම වලඳන්න ලැබුනේ මහවැව පැත්තෙන්ය.බස්සි ඒ පැත්තේ කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. මාදම්පේ මහවැව නේද? එසේය. බස්සි ඉක්කෝලෙ ගියේ වෙන්නප්පුවේ ය. මහවැව පැත්ත ගෙදර වාගේ තමාය. මුලින්ම සුදුලූණු බයිට් එක සෙට් වුනේද මාදම්පේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් එන අතරමගදීය. පසුවදාම බස්සිත් ගෙදරදී ඒ බයිට අත්හදා බැලුවේය. :)

      Delete
    2. මාදම්පේ මට ගොඩක් ලඟයි නේ. යකූ මෙයා අසල්වැසියෙක් නෙව. :D

      Delete
    3. සිරාවට? ඔබතුමා කොයි ගම් පලාතෙද හැබෑට?

      Delete
    4. ධමනියටම ටක්කෙට කිව්වොත් කුරුණෑගල, පඬුවස් නුවර, කුලියාපිටිය වගේ තැන් වල හැමදාම ඉන්නවා.
      කුලියාපිටියේ තමයි ඉන්නේ මේ දවස් වල. එහෙ ඉස්කෝලේ යන්නේ. :D

      Delete
    5. බස්සි......මම කීප වතාවක් ඇවිත් තිබෙන,බොහොම හිත හොඳ මිතුරන්ද සිටින, කුඩාවැව අයිනේ බෙල්ලද කඩා වැටෙන ,සුන්දරම ගමක් තිබේ නම් ඒ මහවැවය.

      Delete
    6. පුංචි සිරිලංකාවෙ අපි කොහේ ගියත් ළඟ ළඟනෙ ඉන්නෙ. හලාවත, මාදම්පේ, මහවැව, වෙන්නප්පුව පැතිවල බොක්කෙ ෆිට් එකෙන් ආශ්‍රය කරන යාලුවො සෙට් එකක් බස්සිටත් ඉන්නවා. ඉක්කෝලෙ කාලෙන් පස්සෙ පදිංචිය වෙනස් වුනාට ඒ යාලුකම් අදටත් එහෙමමයි.

      Delete
  4. මගේනම් බයිට් වර්ග ගොඩාරියක් තියෙනවා. අඹ චට්නි, වෙරළු අච්චාරු ස්පෙෂල්. ඉක්කොලේ ඇරිලා යනකොට 20 වෙරළු අච්චාරු මල්ලක් අරගෙන ටවුන් එක මැද්දේ ඇඟිලි ලෙව කකා යන එක සුළඹ දසුනක් මගේ ..

    ඔය කියපු බයිට් එක මමත් දැක්කා. මටත් කඳුළු ආව මිහිර අයියා දුක කියලා අඬනවා දකිද්දී. මොනා උනත් ඒ කලේ මාධ්‍යකාරයෝ පව් කාර වැඩක්. මිනිහෙක් රිද්දලා සතුටු වෙන ගොන් හරක් මේ රටේ ඉන්නේ කියලා නැවත වරක් ඔප්පු උණා..

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැහැ මලයා ඒ ගැන නම්. තමන් කලාකාරයෝය කියලා කියාගන්න කැණහිල්ලු රැළක් තවත් කලාකාරයෙක්ගෙ ඇස් දෙකෙන් කඳුලු වැටෙන තරමට අසරණ කරා කියන එක හිතාගන්න අමාරුයි. එහෙම කරලා මිහිර විහිලු නොදන්න එකෙක් කියලා කයිවාරු ගහන එක ඊටත් වඩා පජාතයි නෙව. වේදිකා නාට්‍ය වලදි අපේ ඇස් වලින් කඳුලු පනිනකම් අපිව හිනස්සන ඒ මනුස්සයා එහෙම අඬනවා දැක්කම පුදුම දුකක් දැනුනෙ.

      මම ඔය සීන් එකෙන් පස්සෙ තමයි හිරු මෙගාබයිට් කියල වැඩසටහනක් යනව කියල දැනගත්තෙත්. යූ ටියුබ් එකෙන් ඕකෙ තවත් ක්ලිප්ස් වගයක් බැලුවා, මල චාටර්. එකක් තියෙනවා රුවන් හෙට්ටිආරච්චිට සහ ෂෙරිල්ට ගෝල්ෆේස් එකේ කුණුහරුප කියලා කෑ ගගහා බනින ක්ලිප් එකක්. හැබැයි එතන නම් රුවනත් ඇදල අරිනව හොඳවයින්.

      මමනම් කියන්නෙ අනේ දෙයියනේ ඔය බයිට් එකක් පත්තු වෙලා කණ්ණාඩි පොළඟාට කන පැලෙන්න පාරක් වැදියං.!!!

      Delete
    2. කන්නාඩි පොළඟා කොරන්නේ ප්‍රඩුසර් කියන මගුල නෙව. මමත් දන්නේ ඔය සිද්ධියේන් මත. යු ටියුබ් දෙයියා හරහා ඔක්කොම ක්ලිප් බැලුවා. සමහර එව්වගෙන් බයිට් වෙන්නේ උන්මයි. අනේ මේ රටට ගිය කලක්. මිහිර අයියා වෙනුවෙන් මිනිස්සු පාරට බැස්සොත් ආයේ මමත් බහිනවා. ඌ අහිංසකයෙක්. අපිව හිනස්සපු ඌ අඬනවා දකින එකත් ගුණමකු කමක්..

      Delete
  5. මේවගෙන් භාගෙකට වග කියන්න ඕන අපිමයි. කෙටියෙන්ම කීවොත් අපට හොරෙන් අපි විකුණන අමුතු රටක් මේක.

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය වලින් දිගටම කලෙත්, කරන්නෙත් ඕකම තමයි. මාධ්‍ය තමන් විකිණෙමින් කලාකාරයාව විකුණනවා. ඒකට හිට්ස් ලබාදෙන ජනතාවත් විකුණනවා. අන්තිමේදි එයාලත් විකිණෙනවා, ඔයත් විකිණෙනවා, මමත් විකිණෙනවා.

      Delete
  6. අනේ මන්දා මම නම් ඔය එක එකාව බයිට් කරන්න යන්නේ නෑ මගේ පාඩුවේ වැඩක් බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට යාලුවොත් එක්ක හීනියට බයිට් කරනකොට වගේම බයිට් වෙනකොටත් අමුතුම රහක් දැනෙනවා...

      Delete
  7. nice writing skill... keep it up...

    ReplyDelete
  8. අම්මපා ඔය බයිට් වර්ග නම් මතක් වෙද්දීත් කෙල උනනවා අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මගෙ ලිවීම සාර්තකයි නේ...

      Delete
  9. කොහොමත් මම නම් කාව බයිට් කරන්න ගියත් අන්තිමට චකබ්ලාස් වෙන්නෙ මාවමයි :3

    ReplyDelete