Monday, September 2, 2013

මාලුවෝ ඉගිල්ලෙනු කියැවූවෙමි.... (Flying Fish)


ඉගිල්ලෙන මාලුවන්ට ලංකාවේ පාලකයෝ මෙච්චර අකැමති මන්දැයි දැනගැනීමට බස්සිට තිවුනේ මාරම කුතුහලයකි.  ඒ නිසාම ඉගිල්ලෙන මාලුවෝ ලින්ක් එකක් ඇතුලෙන් හොරෙන් හොරෙන් ජාලයේ ඉගිල්ලෙන දවස උදාවෙනතුරු බස්සි ඇඟිලි ගනිමින් උන්නේය. ගිය සතියේ මාලු ටික ඉගිල්ලෙනු අහම්බෙන් දුටු කල බස්සි වහවහා බස්සා ලවා මාලු ටික බා ගත්තේය.




බස්සි තුන් වතාවක් ඉගිල්ලෙන මාලුවෝ බැලුවේය. ඒත් මදිය. බලන බලන හැම වතාවකම අලුතින් කියැවීමට යමක් මාලුවන් තුල අන්තර්ගත බව දකින්නේය.  විද්‍යාවට හුරු වුන බස්සිගේ ඇහැට සිනමා පටයේ සියුම් තැන් එකවර රහ බලන්නට අසීරු නිසාද විය හැක.  එහෙම නැත්නම් ඒ සංජීව පුෂ්පකුමාර "නමැති පුද්ගලයා" ගේ (අයි. ටී. එන්. නාලිකාව ඔහුට ආමන්ත්‍රනය කරන්නේ එහෙමය.) හැකියාව වෙන්නට ඇත.

සිනමාපටය තහනම් කිරීමට මූලික හේතුව එමගින් රණවිරුවන්ට අපහාස වීම නොව, ගයේෂාගේ සහ සම්පත්ගේ ලිංගික හැසිරීම් සහිත දර්ශනය යැයිද එක එකා තැන තැන කසු කුසු ගාන්නේය.  එවැනි අවස්ථාවක රඟදැක්වෙන ලිංගික දර්ශනය නරඹා මොලේ කුරුවල් කර ගන්නට තරම් පහත් මානසිකත්වයක් ඇති රැඟුම් පාලක මණ්ඩලයක් ගැන අපි කම්පා විය යුත්තෙමුය.




ලිංගිකත්වය කුණුහරුපයක් කොට කහල ගොඩට දැමූ රැඟුම් පාලකයන්ට පින් සිදු වන්නට එයට නව කියැවීමක් දුන් සිනමාපට බොහොමයක් නැරඹීමේ අවස්ථාව අහිමි වූ අපි අවාසනාවන්තයෝ වන්නෙමුය. "කර්ම" සහ "නිකිණි වැස්ස" ඒ පවෙන් මිදුනේ අපේ වාසනාවටය. 


සිනමා පටය නරඹන විට බස්සිගේ එක් පූර්ව නිගමනයක් වැරදි බව වැටහුනි.  ලංකාවේ පාලකයෝ ඉගිල්ලෙන මාලුවන්ට අකැමති නැත. උන් ඉගිල්ලෙන මාලුවන්ට බයය.  මාලු ඉගිල්ලෙද්දී තමන්ට හෙණ වදීවියැයි බයක් ඇතිවීම අතිශය සාධාරණය.


මාලු ඉගිල්ලෙන්නට තැත් කරන්නේ ජනවාර්ගික යුධ සමයේ මිලිටරිකරණය වූ මායිම් ගම්මානයකය..  සංජීව කියා ඇත්තේ යුද්ධයේ දුමාරයෙන් වැසීගිය කටුක ඇත්තය. ඒ ඇත්ත තිත්තය.

 
ඉගිල්ලෙන මාලුවෝ දකින කල එය "ගාමණී" සිනමා පටය සමග සසඳන්නට සිත යොමු වන්නේ නිරායාසයෙන්ය. "ගාමණී" ට අනුව අපේ හමුදාවේ ඉන්නේ කාකි ඇඳුමෙන් වෙස්වලාගත් දෙවිවරුය. උන් හා සටන් වදින්නේ එල්. ටී. ටී. ඊ. යක්ෂයන්ය. දෙවිවරුන්ගේ කෙරුවාව ඊයේ පෙරේදා රතුස්වලදී ලෝකයටම පෙනී යන්නට ඇත.


සංජීවට අනුව උනුත් එකය, මුනුත් එකය. නමුත් කැලේට හැදුනු උන්ට වඩා, නිසි පුහුණුවකින් පසු අවි අතට ගත් මුන් තරමක් හොඳය. ඇත්ත ඒකය. එතනවත්, මෙතනවත් දෙවිවරු නැත්තේය.

 
යුද්ධයෙන් පීඩා විඳින්නේ ගෙවල් දොරවල් විනාශ වී අවතැන් වූ ජනතාව් පමණකැයිද, ඔවුන් පමණක්මැයිද යන මතය අවුරුදු ගනනාවක් තිස්සේ අපේ මොළගෙඩි තුලට ඔබ්බවා ඇත්තේය. යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස හටගන්නා මානසික අවතැන්වීම පෙරකී සාමාජීය අවතැන්වීමට වඩා දසදහස් ගුණයකින් බිහිසුණු බැවු ඉගිල්ලෙන මාලුවෝ පසක් කර දෙන්නේය. ඔවුන් කෙසේ යන්නේද, කොහි යන්නේද, අවසානය කිමෙක්ද නොදත් මානසික අවතැනුන්ය. රියදුරු නැති බස් රියක් තුල සිනමාපටයේ ප්‍රධාන චරිත තුන ඉදිරියට ඇදෙනු දකින විට හිත කීරිගැහෙන්නේ එබැවින්ය. ඉගිල්ලෙන මාලුවන්ගේ අවසානය ඔවුන්ටත් රහසක්ය.





 
කතාව ලියා නැති නිසා කස්ටිය බස්සිට පලු යන්නට බනිනවාද විය හැක. පහත ලින්ක් එකෙන් මාලුන්ව බාගෙන ඔබේම ඇහෙන් සිනමාපටය කියවන එක වටිනවාය. කියැවීම හමාර වූ කල ඔලුවට පොල්ලකින් ගැසුවාක් බඳු මහා අසරණ හැඟීමක් දැනෙන එකනම් ඒකාන්තය.

15 comments:

  1. තවම බලන්න බැරි වුණා. කොච්චර ෆිල්ම් පිස්සියෙක් වුණත් සිංහල ෆිල්ම් නම් මට අල්ලන්නෙම නෑ ඉස්සර ඒවා ඇරෙන්න..

    ReplyDelete
    Replies
    1. බස්සිටත් හිතට සෙට් වෙන සිංහල ෆිල්ම් එන්නෙ කලාතුරකින් තමයි සිතූ. ඒත් පහුගිය දවස්වල පට්ට ෆිල්ම් ටිකක් එලියට ආවා. colour, කර්ම සහ නිකිණි වැස්ස. අලුතින් ආපු ජයන්ත චන්ද්‍රසිරිගෙ butterfly symphany එකත් සුපිරිලු.

      Delete
  2. බස්සී......මම ඇවිත් කියවලා ගියාට කමෙන්ට්ස් දාලා නැහැ.බස්සී බැලුවේ නැත්නම් බඹර වළල්ල බලන්න.

    ReplyDelete
    Replies
    1. බඹර වළල්ල බැලුවා තුන් හතර පාරක්ම. සිරා කතාව නේ. ඒක අර "ළඟදි ආපු සුපිරි ෆිල්ම්" ලිස්ට් එකේ දැම්මෙ නැත්තෙ ඒක ඇවිත් දැන් අවුරුදු 2ක් විතර වෙන නිසයි අරූ.

      Delete
  3. මමත් බාගෙන බැලුවා. මටනම් එකේ රණවිරුවන්ට කරපු අපහාසයක්වත් රජයට බය වෙන්න හේතුවක් වත් දැක්කේ නැ. මායිම් ගමක සිද්ද වෙන අමුතු සිදුවීම් මුකුත් මටනම් පෙනුනේ නැ. ඔය වගේ සිදුවීම් අපි ඉන්න ගම් වලත් සිද්ද වෙන දේවල්. හැබැයි ලිංගිකත්වය ගැන නම් ඕනවට වඩා කතා කරලා තියනවා කියලා හිතුනා. මුළු චිත්‍රපටිය පුරාම දරිද්‍රතාව හෝ ඒ හා සම්බන්ද අනිකුත් ප්‍රශ්න ගැන සාකච්චා වෙනවා නම් දැක්කේ නැ. ඒ මිනිස්සුන්ට ලිංගිකත්වය ඇර වෙන ප්‍රශ්න තියනවා කියලා හිතුනේ නැ. තැන් දෙකක විතරයි දුප්පත් කම ගැන ඉඟියක්වත් ලැබුනේ. මන්දා සමහර විට මම චිත්‍රපටියක් බලන්නවත් දන්නේ නැති එකෙක් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මිනිහෙක් විදිහට මම දැක්කේ ඔච්චරයි.

    ReplyDelete
    Replies
    1. මල හත්තිලව්වයි...!!! ඔයා දැක්කෙ නෑ!! ගාමණී වගේ සිනමාපට වලින් රණවිරුවෝ දෙවිවරු කියල ගොඩනගපු මායාව කඩාගෙන වැටෙනව ඔයා දැක්කෙ නෑ?? මායිම් ගම්මාන මිලිටරිකරණය වෙලා ඒකෙන් ජනතාව අසරණ වෙලා ඉන්න හැටි රටට පේනවාට, රණවිරුවො දෙවිවරු නොවන බව මිනිස්සු දැනගන්නවාට රජය බය බව ඔයාට පෙනුනෙ නෑ?? ආයෙ හොඳට බලන්න. කලාව හදාරපු නැති, සයන්ස් සහ මැනේජ්මන්ට් වලට ඇරුණු ඔළුවක් තියෙන මට එහෙම දේවල් පෙනුන. සමහරවිට මම වැරදි ඇති.

      ලංකාවෙ කුණුහරුපයක් විදියට කහළගොඩට දාල තියෙන ලිංගිකත්වය කියන්නෙ මානවයාගෙ මූලික අවශ්‍යතාවයක් සහෝ. අධ්‍යාපනය වගේ ඒව පෙළගස්වල තියෙන්නෙ ඊට පස්සෙ. ලංකාවෙ මිනිස්සු ඒ ගැන කතා කරන්න බයයි. ඇත්තම කිවුවොත් මේ ගැන ලියන්න දාහක් දේ තිවුනත්, ලංකාවෙ ගෑණු ළමයෙක් විදියට මමත් බයයි.

      Delete
  4. ගාමිණි වගේ චිත්‍රපටියකින් රණවිරුවෝ දෙවියෝ කියලා පෙන්නනවා මම දැක්කේ නැ. ඒ හමුදාකාරයෝ අපේම සමාජයේ එක පිරිසක් දකින හැටි. අනික අපි මේක ඇතුලෙම ඉඳන් ඔය දේ බලනකොට අපිට දැනෙන දේ පරිසරයෙන් අපිට මවලා දී ඇති දේත් එක්ක සංසන්දනය කරමින් බලනවා මිසක් අපේම දැකීම නෙවේ. මායිම් ගම්මාන විතරක් නෙවේ නංගියේ පොඩ්ඩක් ඔයා ඇවිදලා බැලුවොත් බලා ගන්න පුළුවන් ඔය අනිත් ආමි කැම්ප් සමහරක් වටේ තියෙන්නෙත් ඔය වගේ පරිසරයක් කියලා. ආමි කැම්ප් එකක ඇති බොහෝ දේවල් වටපිටාවට පැතිරී යන්නේ ඉතාම වේගයෙන් නාගරික නොවන පරිසරයක් තුල. ආමි කැම්ප් විතරක් නෙවේ සාමාන්‍ය ජනතාවගේ චර්යාවන්ට වඩා වෙනස් චරියා තියන ආයතනයක් පිහිටුවපු ගමන් ගොඩක් වෙලාවට එම ආයතනයේ බොහෝ දේවල් කාන්දු වෙනවා පරිසරයට උදා. විශ්වවිද්ද්‍යාල, විශාල වැඩබිම්, අසපු වැනි ආගමික ස්ථාන පුජාභුමි. ඔයා දැකලා නැද්ද සංසුන්ව තිබුන ගම්බද පරිසරයක් අලුත් ඉදිකිරීමකට වැඩපොළක් ආරම්බකරපු ගමන් ගංජා,කසිප්පු,නව රැකියා, ඇඳුම් විලාසිතා වගේ දේවල් පවතින සමාජයට ප්‍රක්ෂේපණය කරන හැටි.
    රණවිරුවෝ දෙවිවරු කියලා මාද්‍ය මගින් සහ ආමිකාරයින්ගේ කරෙන් ගොඩ යන්න හදන දෙස්පාලුවෝයි උලුප්පලා පෙන්නුවාට ඔයා හිතනවද සාමාන්‍ය මිනිස්සුන්ගේ මතයත් එක කියලා. ඔයා නිකන් හිතලා බලන්න ඔයාගේ ගෙදර සහ ඒ වටපිටාවේ මිනිස්සු ගැන. ඔයාට ඒ ජාතියේ මිනිස්සු කීයක් ගණන් කරන්න පුළුවන් උනාද.අත්තටමනම් ආමි කාරයෝ ඇඳලා ඉන්නවා මිසක් මිනිස්සු ඇඳගෙන නැ. තමන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න ආමි එකේ එවුන්ව මුරුංගා අත්තේ තියා ගත්තා මිසක් උන් වෙනුවෙන් දේවාල හැදුවේ නැ. තමන්ගේ දරුවෝ දෙවිවරු කරන්න ආමි එකට දරුවෝ භාරදුන්න අම්මලා කී දෙනක් ඔයා දැකලා තියනවද?. මිනිස්සු දකින දේත් දේසපාලුවන් සහ පොලවේ පය නොගහා ඉන්න අය හිතන දේත් ...අනේ මන්දා.

    කොහොම උනත් මමත් ටික කාලයක් 1990 ගණන්වල වැලිඔය මායිම් ගම්ම්නයක හිටියා. යුද්දය තදින්ම පැවතුන කාලයක. ඒ පරිසරයත් ඔයිට සමාන උනා ඔවැනි ලිංගික ක්‍රියාකාරකම් ඒ පරිසරයේත් සිද්ද උනා සමහර ආමි කාරයෝ එහෙන්ම පවුල් උනා සමහරු කෙල්ලෝ ආමාරුවේ දාල පැනලා ගියා. නමුත් ඒ දේවල් ඒ වෙනකොට ඒ ගම්වල විතරක් නෙවේ දකුණේත් ඕන තරම් උනා. හැබැයි මිනිස්සුන්ට තිබුනේ ඔය ලිංගිකත්වය ගැන ප්‍රශ්න නෙවේ කුඹුරට යන්නේ කොහොමද?, දරුවෝ ඉස්කෝලේ යවන්නේ කොහොමද?, සහනාදාර ලොරි ටිකට ගමට එන්න පුළුවන් වෙයිද?, ගැබ්බර ගෑනියෙකුට හදිස්සියක් උනොත් මොකද කරන්නේ. රෑට අලි ඇවිත් වගා ටික පාලු කරයිද?, පොඩි එකාට දෙන කිරි පැකට් එක කඩේට ඇවිත්ද?, ගමට බෙහෙත් දෙන්න එන දොස්තර මේ සතියෙත් එයිද? ඔය වගේ දහසකුත් එකක් ප්‍රශ්න මිස ඔය කියන ලිංගිකත්වය නෙවේ.

    මංදා මමත් ඔය කලාව කියන එක මෙලෝ දෙයක් දන්නා එකෙක් නෙවේ හැබයි මම පොළොවේ පයගහලා ඉන්න ජීවිතේ සෑහෙන කාලයක් සාමන්‍ය විදිහට ජීවත් උන කෙනෙක්. පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස, ගාමිණී, වගේ සිනමා වලිනුත් මේ ගැන එක එක පැතිකඩවල් කතා කරා. ඒවා එක එක කෙනා දැකපු මානයන්. නමුත් මේ සිනමාවෙනුත් මායිම් ගම් වලට සාධාරණයක් උනා කියලා මට දැනෙන්නේ නැ වගේම විචාරකයන්ගෙන් නෙවේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් මේ පෙන්නවන මිනිස්සු ගැන පහන් හැඟීමක් ඇති වෙයි කියලා හිතන්නත් බැ. මොකද සාමාන්‍ය මිනිස්සු චිත්‍රපටියකින් බලන්නේ පේන මිනිස්සු දිහා මිසක් අද්‍යක්ෂවරයා හිතාගෙන ඉන්න මිනිස්සු දිහා නෙවේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට තමන්ගේ මතයට අදාළව කතා කරන්න සම්පූර්ණ නිදහස තියෙනව සහෝ. ආවේගශීලී වෙන්න මේක දේශපාලන වේදිකාවක් නෙමෙයිනෙ. ඔයා පොළවෙ පයගහලා ඉන්නකොට දැකපු දේවල් බස්සි ඉගිල්ලෙනකොට මගහැරෙන්න ඇති. බස්සි ඉගිල්ලෙනකොට දැකපු දේවල් ඔයාටත් පොළවෙ පයගහලා ඉන්නකොට මගහැරෙන්න ඇති. එකිනෙකා දකින මානයන් ඒ අයට සාපේක්ෂයි නෙව.

      ඔයාගෙ අදහස් ආවේගශීලී වුනත් ඉතින් වටිනවා. අනිත් පෝස්ටු වලත් ඔය වටිනා අදහස් ටිකක් බෙදා දෙනවානම් සතුටුයි, මාලුවන්ටම සීමා වෙන්නෙ නැතුව. ;)

      Delete
    2. තරහකින් ලියපු දෙයක් නෙවේ. තේරුම් ගන්න මේක මගේ හැටි. විශේෂයක් නැ. මම දන්නා දෙයක් ගැන කතා කලොත් අනිවා අදහස් දක්වනවා. නොදන්නා දේ කට ඇරන් බලන් ඉන්නවා. හරි ඔන්න පදිංචි උනා.

      Delete
  5. මට මේ ෆිල්ම් එක බලන හැම වෙලාවේම හිතුනේ අයියෝ සල්ලි කියලා

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාද ෆිල්ම් එක හදන්න සල්ලි දුන්නෙ?

      Delete
  6. බස්සියේ මට කර්ම එකත් බලන්න ඕනේ ,,මේක ඊයේ බැලුවා ,,

    ReplyDelete
    Replies
    1. කර්ම ඩවුන්ලෝඩ් කරගන්න තැනක් බස්සිටත් හම්බ වුනේ නැහැ ඔමා. ෆිල්ම් හෝල් එකෙන් බැලුවෙ. හොයාගන්න ලැබුනොත් G+ එකෙන් අනිවා එවන්නම්. පුලුවන්නම් "නිකිණි වැස්ස" ත් හොයාගන්න බලන්න. ඒකත් සුපිරි!!

      Delete
  7. ඉගිල්ලෙන මාලුවෝ ගැන මා කියවන විසි එක්වෙනි ලිපියයි. එයින් චිත්‍රපටය බැලූ අයෙක් ලියු දෙවන විචාරයයි.

    ඔබ ලියා ඇති පහත කොටසින් තේරෙන්නේ මේ තහනම රැඟුම් පාලක මංඩලය කළාය කියායි.

    /* එවැනි අවස්ථාවක රඟදැක්වෙන ලිංගික දර්ශනය නරඹා මොලේ කුරුවල් කර ගන්නට තරම් පහත් මානසිකත්වයක් ඇති රැඟුම් පාලක මණ්ඩලයක් ගැන අපි කම්පා විය යුත්තෙමුය. */

    /* ලිංගිකත්වය කුණුහරුපයක් කොට කහල ගොඩට දැමූ රැඟුම් පාලකයන්ට...*

    නමුත් සත්‍යය නම් ප්‍රංශ සිනමා උළෙලේ පෙන්නු මේ චිත්‍රපටිය තහනම් කෙරුවේ ලංකාවේ පාලක හමුදා රෙජීමය මගින් බවයි.

    ඒ මිලිටරිකරනය ගැණ වෙනමම චිත්‍රපට සෑදිය යුතුයි!

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේ බව බස්සිද දැන ගත්තේ ගිය සතියේ කියවූ ඊ ආටිකල් එකකිනි. පෝස්ටුවට නිවැරදි කිරීමක් එකතු කලාට ගොඩක් ස්තූතියි.

      ඔන්න ඔහොම ක්‍රිටිකලි කියවලා පෝස්ටුවල අඩුපාඩු පෙන්වලා දෙන එකට බස්සිත් කැමතියි. එතකොට ඇත්තටම වැරදි තියේ නම් ඒවා හැදුවැකි (මෙන්න මේ වාගෙ, තව ක්‍රෑම දැමීම හා පොද්දෝ සහ අලයෝ පොස්ටු දෙකේ කලා වාගෙ.) තැන්කූ හොඳේ.....

      Delete