Wednesday, December 4, 2013

මහ පොළව නුඹයි





කලු පාට වැහි වළා
එකින් එක එකින් එක බරවෙලා
මිරිකිලා ඇඹරිලා
බිඳෙන් බිඳ මහ පොළව තෙත් කලා



මහ පොළව ඉකි නොලා
මුවින් නොදොඩා බලා
ඉහිලුවා වැහි වළා
එකින් එක එකින් එක
උකුල මත කඩා හැලෙනා වළා

 

වැහි අඳුර පහවෙලා
උදෑසන හිනැහුනා සුදෝසුදු පැහැ වළා
මඩවගුරු ගත වෙලා
මහපොළව විළි බරව හිඳී මුව සඟවලා



පෑගේවි කියා පා වැසුම් ලා
මහපොළව නොඅල්ලා
සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා



ආකහේ රැස් බලා
අතක් නළලත තියා
බලාපන් සුදෝ සුදු පින් පාට වළා කැටි

කියා පැසසුම් සලා....




 

@ ශාන්ති දිසානායකගේ "ද්වාර" කියවා ඔද්දල් වූ හදවතින් :(

50 comments:

  1. ඔබේ හදවත මෙන් මගේද හදවත ඔද්දල් වුනි :B හි...හි...හි

    ReplyDelete
    Replies
    1. ද්වාර කියවලාද, නැත්නම් කවිය කියවලාද අක්කේ?

      Delete
  2. අපේ අම්මේ ,, හෙලා දකිනවා හෙලිකොට්ටෙන් ඉන්න ෆොටෝ දාලා :)

    ReplyDelete
    Replies
    1. හැමෝගෙන්ම බැනුං අහන්ට වෙලා නෙව ඒ ෆොටෝ එකට. :( අනේ මන්දා මටනම් ඒකෙ වැරදි මුකුත් පේන්නෙ නෑ. කවියට ගැලපෙන්න නෙ දැම්මෙ ඉතිං.

      Delete
    2. මේකේ කවිය කීප සැරයක් දැක්කා කීප විදියකට .මොකද බස්සියේ මේකට කරන්නේ .. අපි ගෑණු ළමයිනේ ඉතින් ඒකයි මිනිස්සු අකැමති ,, කවුරු මොනා කිවත් මේක ඔයාගේ බ්ලොග් එක ඔයාට ඕනේ දේ ලියන්න දාන්න , ඔයාගේ බෝයිෆ්රෙන්ඩ් ගේ අකමැත්තක් නැත්නම් මේ අපිව සතේකට ගණන් ගන්න එපා යශෝ

      /// කවියට ගැලපෙන්න නෙ දැම්මෙ ඉතිං/// ගයේෂා ඉගිල්ලෙන මාළුවෝ එකේ රගපාලත් ඔහොම කියන්න ඇති මයේ හිතේ :D

      Delete
    3. බස්C &ඔමා.......ගැහැණියකගේ නිරුවත් ශරීරය යනු මිනිසෙකුගේ පියවි දෑසට පෙනෙනා අති සුන්දරම දර්ශනයයි.. ඔබ කාමුක වනචර සිතින් එය නොබලනා තෙක් එය රස විඳිය හැක....තවත් කෙනෙකුට වෙනත් විග්‍රහයන් තිබිය හැකි බව මම දනිමි. සදාචාරයට සීමා සහ මායිම් ඇත...පුහු සදාචාරයට නම් හිස්ම හිස් සිතුවිල්ලකි.

      මා ද්වාර කියවා නැත. ඔබේ කවි පංතිය රස වින්දෙමි.

      Delete
    4. අරූගේ කමෙන්ටුව සමග එකඟ වෙමි. වික්ටෝරියානුසභ්‍යත්වයේ වහලුන් වන සමහර ලාංකිකයන්ට තවමත් Nudity යනු කලාවක් බවවත් නොතේරේ.

      …ඔමා... මේ ෆොටෝ එක ගත්තෙ "prayers for the prostitute" යන ආර්ටිකල් එකෙන්, porn site එකකින් නෙමෙයි අක්කණ්ඩි. මට මේ ෆොටෝ එකෙන් පේන්නෙ ඒ ගැහැණියගෙ අසරණකම මිස රාගයක් නෙමෙයි.

      රාගය කියන හැඟීම දෙන්න ඇඳුම් සේරම ගලවන්න ඕනෙ නෑ නෙව. ඒ හැඟීම දෙන්න නිරුවත් ගැහැණියකගෙ පින්තූරයක් අලවන්න ඕනෙ නැහැ. අවශ්‍ය තැන් සේරම වැහෙන්න ඇඳුම් ඇඳගෙන රාගික හැඟීම් උපරිමයෙන් දෙන පින්තූර තියෙනවා නෙව.

      මෙතනදි පින්තූරයෙන් කියවෙන්නෙ ඒ ගැහැණිය නිරුවත් උනේ ජීවත්වෙන්න මුදල් ඕනෙ නිසා කියන එකයි.

      Delete
    5. ආ... ගයේෂාත් ඇවිල්ල කමෙන්ට් එකකට! දැනුයි ඒක දැක්කෙ. ඒ කතාව ඇත්තනෙ. මොකද චිත්‍රපටියෙ හැටියට ඒ දර්ශනයෙදි ගයේෂාට සිල් රෙද්දක් පොරවගෙන භාවනා කරන්න බැහැනෙ.

      මට නම් කියන්න තියෙන්නෙ, ඉගිල්ලෙන මාලුවෝ බලලා ගයේෂාට අපහාස කරනවා ඇත්තෙ porn බලන විදියට ඒක බලාපු මිනිස්සු වෙන්ට ඕනෙ. අනිත් එක තමයි ගයේෂා තාමත් බය නැතුව "මම ඒ ෆිල්ම් එකේ රඟපෑවා තමයි." කියලා කොන්ද පණ ඇතුව කියන එක ගැන ආඩම්බරයි.

      Delete
    6. ඔයාව විවේචනය කරන අරමුණින් කීවා නෙමේ මට දැනිච්ච දේ කීවේ.මගේ රස වින්දනය ඔයාලාගේ මට්ටමට උසස් නැතුව ඇති..
      ////රාගය කියන හැඟීම දෙන්න ඇඳුම් සේරම ගලවන්න ඕනෙ නෑ නෙව. ඒ හැඟීම දෙන්න නිරුවත් ගැහැණියකගෙ පින්තූරයක් අලවන්න ඕනෙ නැහැ. අවශ්‍ය තැන් සේරම වැහෙන්න ඇඳුම් ඇඳගෙන රාගික හැඟීම් උපරිමයෙන් දෙන පින්තූර තියෙනවා නෙව./// මෙහෙම කියන්න දෙයක් මං ඔයාට කිවේ නැහැ හොදේ ..

      සමාවෙන්න වැරදි දෙයක් කීවානම් ok.

      Delete
    7. @ ඔමා.......ඔබ දකින දේ සහ හිතන දේ කියන්නට බිය නොවන්න.බ්ලොග් ලෝකය තුළදී මම මේ පාඩම ඉගෙනගත්තේ රයිගම් නම්වූ බ්ලොග්කරුවා ගෙනි. මම යම් අදසක් පළකර , අන් අය මොනවා සිතාවී දැයි කියා ලියූ විට, රයිගම් ලියා තැබුවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරා නොගන්නා ලෙසය. පෞද්ගලික ජීවිතයේදි නම් මම හැසිරෙන්නේ එසේමය. නමුත් බ්ලොග් ලෝකය තුළ මම බිඳක් පසුබට වුයෙමි. මම වැරදිය. බ්ලොග යනු තමාගේ ආත්ම කථනයයි. තමා තමා තුළම ශ්වයංවාරණයක් තබා ගත යුත්තේ තව කාවවත් සැනසීමට නොවේ. ඒ වාරණය තිබිය යුත්තේ තමා ලෝකයට පෙන්වා සිටීමට දරන ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා විය යුතුය. අසභ්‍ය සහ සභ්‍ය තීරණය සාපේක්ෂය. මම බොහෝ දුරට උත්සාහ කරන්නේ ,මම මා කවුදැයි අන් අයට හඳුන්වාගැනීමට ඉඩ සැලස්වීම මිස අන් අයගෙන් චරිත සහතික ලබා ගැනීමට නොවේ. ඔබ මම හෝ ඕනෑම කෙනෙක් තම ආත්මීය සළු පිලි ගලවා නිදහස් වන්නේ තමා නිවැරදි නම් පමණි. එම නිවැරදි වීම සිදු කර ගත හැක්කේ ඔබ ඔභවීම තුළින් මිස ,අන් සියල්ලන්ම සතුටු කිරීමෙන් නොවේ.

      මම මේ දේ කාට කාටත් කියවන්නත්, නමුත් ඔබගේ නමින් ආමන්ත්‍රණය කර ලිව්වේත් ඔබ දක්ෂ තරුණ දියණියක් නිසාය. ඔබ නැවත කියවා බැලුවොත් ඔබේ පළවෙනි හෝ දෙවනි පෝස්ට් එකේ සිට මම සාධනීය අදහස් පෙළ ගස්වා ඇත. ඒවා සමහරක් ෆනී හෝ හියුමරස් අදහස් විය හැක. ඔබ ඔබ වන්න. තම අනන්‍යතාවය බ්ලොග් ලෝකය තුළ රඳවාගන්න. ප්‍රසිද්ධිය යනු නිර්ව්‍යාජත්වය නොවේ. මම ඔබගේ වයස් සීමාව බොහෝ කාලයකට පෙර පසු කල අයෙක්මි.

      ඔබ බස්සීට කිය යුත්තේ...මා ප්‍රකාශ කළේ මගේ ස්වාධීන අදහස යැයි කියා මිස...හිත රිදවීමක් ගැන නොවේ. බස්සීට ඥානයක් ඇත්තම් ඇය වටහා ගත යුතුය. එසේ නොවනවනාම් ඒ ඇයගේ ස්වභාවය විය යුතුය.

      Delete
    8. අඩේ මචං ඔමා, මගේ කමෙන්ටුවෙන් ඔයා උපුටා දක්වාපු කොටසෙන් ඔයාගෙ හිත රිදුනෙ කොහොමද කියන එක නම් මට තවමත් පැහැදිලි නෑ. සුවර් එකටම මම අදහස වචන වලට පෙරළීමේදී යම් අඩුපාඩුවක් සිදුවෙලා ඇති. ඇයි බොල එහෙම පොටෝ තියෙනවා.... හිටිං මං උඹට ෆේස්බුකියෙන් ඒවා එකක් දෙකක් එවන්නම්.

      මචෝ මේ විදියට තමන්ගේම අදහස් දක්වන එක මම ඇත්තටම අගය කරනවා. එතකොට තමයි ලියාපු දේ ගැන යම් කතිකාවක් ගොඩනැගෙන්නෙ. මම ලියන දේ කියවලා හැමෝම "එල මචං" කියලා යන්න යනවා නම් ඒ ලිපිය ලියන්න මම ගත්තු මහන්සියෙනුත් වැඩක් නෑ නෙව.

      මේකනෙ මචං, මම කමෙන්ට් එකක ලියන විස්තරේ හැබෑ ජීවිතේදි උඹට කිවුවානම් කියන්නෙ කරට අතක් දාගෙන හරි පිටට තට්ටුවක් දාලා හරි, හිනාවෙවී ෆුල් ෆන් එකේනෙ. මේ වර්චුවල් ලෝකෙ වචන අහුරකින් විතරක් අදහස පළ කරනකොට වැරදි වටහා ගැනීම් වෙනවා වැඩියි. ඒක ඔයාගෙවත් මගෙවත් වරදක් නෙමෙයි.

      මම තවම පාරෙ හයියෝ.... කොමෙන්ටු දැකල කලබලේම උත්තරයක් කෙටුව. ආයෙ බ්ලොගට එන්නෙ ලබන සතිය දිහාට තමයි ඈ...

      Delete
    9. මගේ බ්ලොග් රෝලේ ඔයාගේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැහැනේ යශෝ ..ඒ මොකෝ ..හ්ම්ම් ඔයා හරි අකුරුත් එක්ක කරන හරබේ හරියන්නේ නැහැ බන් ස්තුති අරු

      Delete
  3. Replies
    1. සික්. කාටවත්ම තේරුනේ නැද්ද හැබෑට? :/

      Delete
  4. ෆොටෝ එකේ නම් මට අවුලක් නෑ... එකම දේ, ගොඩක් අය (මාත් ඇතුළුව ), වැඩ කරන තැන් වලින් බ්ලොග් බලනවා හැකි වෙලාවට. එතකොට අවුලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්, ඉන්ටනෙට් ඇක්සස් මොනිටර් කරන ආයතන වල, ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මීට වඩා සැර අඩු එකක් දැම්මා නම්, අර 'පොදු' බව රැකෙනවා... ඒත් කිව්වා වගේ, ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ..

    දැන් කවියට එමු... ඉතාම අනර්ඝ නිර්මාණයක්... උදේ වෙද්දි මිනිසුන්ට මතක නෑ මඩ ගොහොරු හැදුනේ කොහොමද කියලා... අහස දෙස සතුටින් බල බල පොළොව දෙස පිළිකුලෙන් යුතුව බල බල යනවා. මම මේ පොත කියවලා නැති උණත් කවියයි, පින්තූරෙයි ගැලපුවහම, මට හිතෙන්නේ ගණිකාව හෝ ඊට සමාන ජීවන රටාවක් ඇති තැනැත්තියකගේ ඛේදවාචකය කියලා. අර ප්‍රසන්න විතානගේ ගෙ අනන්ත රාත්‍රිය චිත්‍රපටයේත් කියන්නේ මේ වගේ කතාවක්නෙ. ගණිකාව බිහිවෙන්නේ පිරිමින් නිසා, නමුත් ගැරහුම් ලබන්නේ ගැහැණියයි.

    මුල් කවි 3 යම් කිසි තාලයකට (විරිතකට) ඉදිරිපත් කලත්, 4 ,5 කවි වලදී ඒක ගිලිහිලා යනවා. පෞද්ගලිකව සඳැස් කවි වලට වඩා කැමති මම (සහ මුල් කවි වලට සඳැසක් තිබෙන නිසාත්) අවසන් කවි දෙකත් ඒ අනුව නිමවුනා නම්, බොහොම කැමතියි. නමුත් කවියේ අපූර්වත්වය සහ පණිවිඩය, ආකෘතිය ඉක්මවා මතුවෙන බව කියන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔයා කවිය තේරුම් ගත් හැටි නිවැරදියි තිසර. ඒ නවකතාවේ ගැහැනු ගණිකාවකගේ කතාවකුත්, පිරිමි ගණිකාවකගේ (මේකෙ පුරුෂලිංග පදයක් නැහැ නේද?) කතාවකුත් සමාන්තරව ගලාගෙන යනවා.

      නවකතාව කියවලා ඔලුව හොල්මන් වෙලා නිසා විරිත නම් සෑහෙන්න පිට පැනලා බව පිළිගන්නවා. ඕනෙ උනේ කොහොමහරි හිතේ කැකෑරෙන අදහස එළියට දාල හිත ටිකක් සැහැල්ලු කරගන්න.

      පින්තූරය ගැන නම් මට කියන්න තියෙන්නෙ කලින් කිව්ව දේ මයි. මට ඒ පින්තූරෙන් කාමය කියන හැඟීම පළ වෙනවා කියන එක පිලිගන්න බැහැ. ඒත් ඔයා දෙන හේතුව නම් සාධාරණයි. මොකද ඔය අයි. ටී. එකේ සෙකියුරිටි පැත්තෙ සමහර වෙලාවට වාත පොරවල් ඉන්න පුලුවනි. ෆොටෝ එක උඩ ඒ ගොල්ලො ඔයාලව මැන්නොත් සොරි වෙනවා තමයි.

      මොනව වුනත් ඉතින් මම පින්තූරෙනුත් පුංචි කතාවක් කිවුවා. ඒ නිසා පින්තූරෙ ඉවත් කරන්නෙ නම් නැහැ. අපහසුතාවයක් උනා නම් කණගාටුයි ගොඩක්.

      Delete
  5. සුනේත්‍රා රාජකරුණානායකගේ නිර්මාණයක් කියෙව්වනම් ටික දවසක් යනකන් හිත හොල්මන් වෙන එක ස්වාභාවිකයි. ඒක ඔයා පිට කරලා තියෙන විදිහ නම් හරිම නිර්මාණශීලියි. තමුන් අතින් සිදුවෙච්ච සමහ දේවල් වලට තමුන් වග කියන්න ඕනේ නෑ වගේ හැසිරෙන එක ගොඩක් වෙලාවට වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. හොල්මන් වෙනවාදත් අහනවා! මම කැමතිම ලේඛිකාවක් ඇය. පවුලූශාටත් එයාගෙ නවකතා කියවලා අත්දැකීම් තියෙනවා වගේ. එයා හැමදාමත් ලිවුවෙ තමන් හැදුන වැඩුන පරිසරය කේන්ද්‍ර කරගෙන නෙව. "ද්වාර" කතාවේ ඇය "යාය දහයේ" ඉඳන් නගරයට ඇවිත්.

      Delete
  6. ඇත්තටම මට තේරුනේ නැත..... මොනා කරන්නද රසවින්දනය... කියවීම, අන්තිමයි.....

    ReplyDelete
    Replies
    1. අනේ බොලං ගාලුවෝ.... ඔයාට නොතේරෙන හරුපයක් මම ලියලා උනත් ඔයා මෙතන කමෙන්ට් එකක් දාන්න තරම් නිර්ලෝභී උන එක ගැන ගොඩක් සතුටුයි. ඔය කමෙන්ට් ටික කියෙවුවාම තේරෙයි නේ...

      Delete
  7. හොඳ නිර්මාණයක්..!

    පොත කියවලා නැතත් අන්තර්ගතය මෙන්න මේ වගේ කියලා තේරුම්ගන්න පුලුවන් විදිහට ඔයා නිර්මාණය කරලා තියනවා.මේකට අහස පොළව ඈඳා ගත්තු විදිය අපූරුයි..අනිවාර්යෙන්ම මේක අභිසරුලියක් ගැන කතාවක්...එහෙම නේද?

    පින්තූර නම් තිසර කියුවා වගේ සාලෙ තියන් කියවන අයටයි.., වැඩ කරන තැන්වල හොරෙන් කියවන අයටයි පුරස්නයක් වෙන්ට පුලුවන් තමා

    ReplyDelete
    Replies
    1. රෙහානි අක්කාගෙ අනුමානය හරි. අදහසට බොහෝම ස්තූතියි. මේ වගේ සිංහල නවකතා e-books විදියටත් ගන්න තිවුනා නම් ගොඩක් වටිනවා නේද?

      අනිච්චේ... අක්කාටත් පින්තූරෙන් පුරස්නයක් උනා ද? එහෙනම් ඉතින් බස්සිගේ බලවත් කණගාටුව හොඳේ... ඊගාව පාර පරෙස්සමින් බ්ලොග් එක අරින්න. (මේ පින්තූරෙ අර නොපෙන්විය යුතු එවුවා නම් සේරම cover වෙලා තීන්නෙ හොඳද...)

      Delete
  8. කියෙව්ව එහෙනම්...තේරෙනවනම් බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. අනිච්චේ... කොම්න්ටු ටික කියෙවුව නම්. තරමක් දුරට පැහැදිලි වේවි.

      Delete
  9. සුට්ටන් එකෙක් නිසා පොටො ඒකට මුකුත් කියන්නේ නෑ මම දැක්කෙත් නෑ. :D. කවිය නම් හොද ඇති එකත් එච්චර තේරෙනවා මදි මේ පොඩි එකාට :D

    ReplyDelete
    Replies
    1. අනේ පවු පොඩි එකා... ඔයාලට දකින්න හොඳ නැති කිසිම දෙයක් මේ පෝස්ට් එකේ පල කරලා නැහැ. මම එහෙම දේවල් පල කරන්නෙත් නැහැ මොකද මගේ නංගිත් එයාගෙ ඉස්කෝලෙ යාලුවොත් මේ බ්ලොග් එක කියවනවා. ඒ වයසෙ අය නොදැකිය යුතු දේවල් මෙතන පළ කරලා නැහැ මට හිතෙන විදියට. :)

      Delete
  10. පින්තූරෙ නැත්නම් කවිය තේරෙන්න වෙලායනවා

    ReplyDelete
    Replies
    1. දාපං ජෝන් මස්සිනා පහක්! පින්තූරෙට + පොයින්ට් එකක් දීලා.... :D

      Delete
  11. කවි ටික කියවපු ගමන් ම ආසාවක් ආව පොත කියවන්න. ඉක්මනට හොයාගෙන කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි ඔයාට එහෙම හිතුන එක ගැන ධාරා. මේ පොත මම කියවාපු සුනේත්‍රා රාජකරුණානායක ගෙ අනිත් නවකතා සේරටම වඩා වෙනස්.

      Delete
  12. අත්වැල කැඩි ඔහෙ පාවෙන ගැහැනියක් ගැනද මන්දා

    ReplyDelete
    Replies
    1. දමිත් කතාව හරියටම තේරුම් අරගෙන. අනිත් කමෙන්ට් වල අදහසට වඩා පියවර ගානක් ඔයා ඉදිරියට ගිහින්.

      Delete
  13. කතා දෙකක් නෑ විශිෂ්ඨ නිර්මාණයක්. පොත ගැනත් අවබෝධයක් ලැබුනා.

    ෆොටෝව ගැන කතා ක‍රනවා නම් …… බෑ බෑ ඒ ගැන කතා නොකරම ඉමු.
    ඒත් මේක විතරක් කි‍යන්නම් ඔමා කියනවා වගේ මේක ඔයාගෙ බ්ලොග් එක. ඔයට කැමති දේ ඔයා කරන්න. කැමති අය බලයි. අකමැති අය නොබලයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියා. බස්සි අධෛර්යයට පත් වේවි කියලා ඔයා නෙගටිවු කමෙන්ට් එකක් පළ නොකර හිටියාද මන්දා... එහෙම කරන්න එපා හොඳේ... ඒ නෙගටිවු කමෙන්ට් මත තමයි බස්සි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නෙ.

      …යේස්. අවසාන වාක්‍ය කීපයට අත ඔසවා එකඟ වෙමි. මගේ බ්ලොගේ මඩ නෑ. ඇඩ් නෑ. කැපිලි කෙටිලි නෑ.... මම කරන්නෙ මේ නිදහස් මාධ්‍ය මගේ සදාචාරාත්මක රාමුව ඇතුලෙ භාවිතා කරන එක. ඒ රාමුව නිර්මාණය කරගන්නෙ මම.

      Delete
  14. බ්ලොග් වලට පොටෝ එක්කිරිමේදී මිට වඩා සංයමයෙන් හා ඉවසීමෙන් කරනවා නම් වඩාත් යෝග්‍යය . මේ වගේ උඩින් පල්ලෙන් බලල එක කරන පොටෝ නිසා පාඨකයා මුලාවට පත්වේ ..... ඔබම නැවත වරක් මේ පොටෝව දිහා හොදින් බලන්න එය බටම වැටහේවි (පෙන්න ඕන කිසිම දෙයක් හරියට පෙන්නේ නැනේ)

    ReplyDelete
    Replies
    1. අනේ රාළෙ ඔයා උඩිනුයි යටිනුයි එබි එබී මොනා හරි පෙනේවිද කියල බලලා බැරිම තැන කෙටුවා නේද කමෙන්ට් එකක්...? මේ... යටින් කවියක් ලියලා තියෙනවා. ඒකත් කියෝලම එන්න.

      Delete
  15. ෆොටෝව සහ කවිය යන දෙකම රසවින්දා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විශ්ව.

      Delete
  16. හදවත..
    දෑතට ගෙන,
    තලා පෙලා,
    පොලවේ ගසා,
    දෙපයින් පාගා,
    සුනු විසුනු කරන ලදී...

    (මම තවම මේක රසවිඳිනවා..)

    ReplyDelete
    Replies
    1. අපූරු හයිකුවක් නෙව විදානෙ. බස්සිගෙ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  17. //සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
    ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා// මෙන්න මේ පද දෙකට මම ගොඩක් කැමති යි!

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ කවිකාරියකගෙන් එහෙම පැසසුමක් ලැබීම මට ලොකු සතුටක් දිලිනියෝ... :) මෙයා ප්‍රොෆයිල් එකේ නම මාරු කරලා නේද? මම මින් පස්සෙ "කුරුට්ටි" කියන්නද.... :D

      Delete
    2. කැමැත්තක් කැමැත්තක් :D හප්පේ මම එච්චර කවිකාරියක් නම් නෙමේ!

      Delete
    3. මම දන්නෑ කුරුට්ටියෝ මටනම් ඔයා දක්ෂ බ්ලොග් කාරියක්... ;) ඒකනෙ ඔය ඉරිසියාකාරයොත් වැඩි.

      Delete
  18. කොමෙන්ට් වලින් තේරුම් ගතිමි

    ReplyDelete
    Replies
    1. එහෙම හරි තේරුනානම් හොඳා ආචාරියෝ...

      Delete
  19. මං ඉස්සෙල්ලා කියෙව්වම මට නිකං සාමාන්‍ය කවියක් වගේ තේරුණේ...කමෙන්ට් කියවලා ආයෙම කියෙව්වා..
    මාරයි. මාත් ආසයි ඔය වගේ කවි කියවන්න වගේම ලියන්නත්.
    සුපිරිම නිර්මාණයක්.... ඇත්තටම මේ පින්තූරේ දැම්මේ නැති නම් කවුරුත්ම මේ කවිය මේ අදහසින් කියවන්නේ නැති වෙයි......
    //පෑගේවි කියා පා වැසුම් ලා
    මහපොළව නොඅල්ලා
    සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
    ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා// නියමම අදහස සහ කවිය....
    ජය වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තීනව නම් මේ කවි දෙකටත් ගොඩ වෙලා බලන්න....
      18+ නියඟලා ??෴

      අසිරි සිරි බඳ වට.... යැවුණි දෑතම එරන්වන් වට...... ෴

      Delete
    2. ඔයා වගේ දක්ෂ නිර්මාණකරුවෙක් අඳුනා ගන්න ලැබීම සතුටක් රන්දු. බොහොම ගැඹුරු අදහසක් සුගම පද වැලක හංගන්න ඔයාට තියෙන්නෙ අපූරු දක්ෂතාවයක්.

      බොහොම ස්තූතියි කමෙන්ටුවට. බස්සිගෙ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා.

      Delete