Monday, December 22, 2014

මහන්සි නැද්ද ඇත්තට?







පරණ සටහන් පොතක
දුඹුරු පිටුවක
නිසඳැසක
දිගැටි කුරුමිණි අකුරු අතරේ
මෙච්චරක් කල් හැංගිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?



හිර ඩෙනිම් සායක
කෙලවරේ සාක්කුව පතුලක
පැහැය වියැකුන බස් ටිකට් කොලයක
මෙච්චරක් කල් එල්ලිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?



පොත් මල්ල තුලම අමතක වුන
තැනින් තැන පොඩිවුන
ඉරුන කැන්ඩොස් කොලයක
මෙච්චරක් කල් දැවටිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?



මටනම් මහන්සියි හරියට.
හිතන තරමට ලේසි නෑ නෙව
කඳුලු හංගන්
හිනාවෙන එක







26 comments:

  1. මෙහෙම කොළ පුරෝගත්
    ගබඩා කාමරේ මුල්ලක
    කඩදාසි පෙට්ටියක් වෙන එක
    අපූරු නැද්ද ඇත්තට?

    ReplyDelete
    Replies
    1. හිරු එළිය පොදක්වත්
      නොදැකම ඔහේ ඉන්න එක
      දුකක් නෙමෙයිද එතකොට?

      Delete
    2. හුළඟක් වදින්නැති
      ඉර අව්ව වටෙන්නැති
      තැනක තියෙනා සිසිල
      විඳලා නැද්ද ඇත්තට?

      දුකක් දැනෙනා විටදී
      ගුලිවෙන්න හැකිවෙන්න
      කුෂන් පුටුවක් අරන්
      තුන්ඩු කියවමුද ඇත්තට?

      Delete

    3. අසාත්මික දුහුවිල්ලක වුව
      අවුරුදුම දහයකට වැඩියෙන්
      බලා ඉන්නා එකයි හේතුව

      එච්චරක් කල් උන්න බවවත්
      නොදැන හිටි එකමයි
      දෑස බොඳවෙන හේතුව

      Delete
  2. මහන්සියක් දැනුනත්
    යුතුකමක් ඉටු නොකර කොහොමද
    ඉතිං ඇත්තට...?

    ReplyDelete
  3. අමාරුයි! ඒත් කරන්න එපැයි

    ReplyDelete
    Replies
    1. හිහිහි... උඹත් බස් ටිකට් අස්සෙයි, චොකලට් කොලවලයි හැංගෙන්න ගියාද නාඩියෝ? කවි ලියයිද, පුච්චලා දාවිද දන්නෙ නෑ... කල්පනාවෙන් හිටාන්.

      Delete
  4. මහන්සියෙන් හරි
    කඳුළු හංගන් හිනාවුනා
    නැත්තම් හිතාවි
    දිනුම් කියලා

    උඹ රිප්ලයි දාන්නේ නැති නිසා කමෙන්ට් කරන්නේ නෑ .... ඕ යේස්

    ReplyDelete
    Replies
    1. උඹ හොඳටම දන්නවනෙ බන් මේ ටිකේ පට්ට බිසී බව. පරක්කු වෙලා හරි රිප්ලයි කලානෙ අනික.

      Delete
    2. නොදකින් ගොන් තඩියා විහිළුවක් දන්නේ නැති

      Delete
    3. මැරියන් මැරියන්! නිවාඩු තිබිලත් නොලියන කම්මැලියා :3

      Delete
    4. අන්න හරි බස්සි, බැනහන් ඕකට, සපෝර්ට් එකක් ඕනේ නං කියහන්, මං ගඩොල් බාගයක් රෙඩි කරන් ඉන්නේ.

      Delete
    5. බස්සි : මේ... පොඩ්ඩක් විතර පැහැදිලි මදි ගතියක් තියෙනවා...
      දැන් ඔයා 'මැරියන් මැරියන්' කිව්වේ මොකෝ? ඔයා රොබින් හුඩ් ද?

      Delete
    6. ගඩොල් බාගයක් තියේනම් අතේ තියන් ඉන්නෙ නැතුව ඉලක්කෙ බලලා ගහන්න නිමෝ ඔය කම්මැලි ගෙම්බව චකබ්ලාස් වෙලා යන්න!

      Delete
    7. ඕ යේස් උපයෝ ඉස්සර රොබින් මැරියන් සෙල්ලමේ මම හැමදාම රොබින්හුඩ්! නැත්නම් අනිත් උන් සෙල්ලම් කරල හමාරයි

      Delete
    8. හිකිස් අඩි තුනේ රොබින්හුඩ් කෙනෙක් දැක්කමයි

      අඩෝ සර්කස් නිමෝ ....දුප් යන්න

      Delete
  5. අද මේවා නැත...
    ඇස් ඇම් ඇස් ඇත..
    මොහොතකින්,
    සියල්ල ඩිලීට් වනු ඇත...

    ReplyDelete
    Replies
    1. එස්.එම්.එස්. ද්විපාර්ශ්විකය.
      කවියේ කියවෙන අප්‍රකාශිත ප්‍රේමයට එස්.එම්.එස්. අදාල වන ආකාරය මට නම් නොවැටහේ.

      Delete
  6. මෙලෝහසරක් නොතේරුනත්
    කවි කියවනා හේතුව
    නොදැනීම අසාත්මික නොවීම?

    ReplyDelete
    Replies
    1. නොතේරෙන්නේ කවියද?
      කවි ඉහෙන්නට හේතුවද?
      අසාත්මික නොවන්නේ කවියද?
      නැත්නම් හේතු නොදැනීමද?

      Delete
    2. දෙකම නොතේරේ
      අසාත්මිකද නොවේ

      Delete
  7. කවි කවි කවි මට බැරි කවි.
    බස්සියේ උබ හොඳට සිංහල දන්න එකේ සිංහල වියරණ ගැන ලිපියක් ලියන්න. මේ ටිකේ වියරණ නොදන්නා අඩුව හොඳට දැනෙනවා ගුගල් පරිවර්තකයට උදවු කරන්න් යන නිසා.

    ReplyDelete
    Replies
    1. මකසි මකසි මකසි :D
      මට බැරිම දේ තමයි සිංහල වියරණ
      අනිත් අමාරුම දේ අක්ෂර වින්‍යාසය
      ඕ ලෙවල් වලට හොරාට සිංහල භාෂා විෂය ගොඩදැම්මට පස්සෙ තවම සිංහල ඉගෙනගෙන නෑ මම. ඒ අතින් මම මහ මැට්ටියෙක්.

      අපේ නලින් අයියා ඔය සම්බන්ධව හොඳ දැනුමක් ඇත්තෙක්. අරූ අයියත් වියරණ ගැන ගොඩක් සැලකිලිමත් ලිවීමේදි.

      උසස් පෙල සහ විශ්වවිද්‍යාල මට්ටමේ හොඳ හැදෑරීමක් සහිත කෙනෙක් මේ ගැන යමක් ලියනවානම් ඒක බොහොම ප්‍රයෝජනවත් වේවි.

      Delete
    2. මම හිතුවේ ඕවා බස්සී දන්නවා කියලා බලමු ඒ අය්යා කෙනෙකුට කියලා. සිංහල වියරණ ගැන කිසිම සම්පුර්ණ අඩවියක් නැත.

      Delete
  8. මෙය සහ ඇර fb ස්ටේටස් එක අතර සම්භන්ධයක් තිබේද පින්වතිය ?

    ReplyDelete