Thursday, January 21, 2016

'ගහනවාද?' - 'දුවනවාද?'


රාවය 
29 - නොවැම්බර් - 2015






'ගහනවාද? නැත්නම් දුවනවාද?' මේ උභතෝකෝටිකයට කවදාක හෝ ඔබටත් මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවාද? පාසැල් පෙම්වතියගේලොකු අයියා ඔබට තර්ජනය කරන්න එනකොට, ඉක්මනින් කේන්තිගන්නා අසල්වැසියෙක්ට අතේ පැළවෙන බේගලයක් ඇදබාන අතරතුර, එහෙමත් නැත්නම් පළමු වතාවට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නට යනවිට, ඔබත් වැඩිදුර සිතාබැලීමෙන් තොරවම ප්‍රතිචාර දැක්වූ අවස්ථා නොතිබෙන්නට නොහැකියි. 


ජෛවීය විද්‍යාවේදී මෙය 'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' (Fight or Flight Response) ලෙසින් හැඳින්වෙනවා. එය අන්තරායකර අවස්ථාවකට ක්ෂණිකව ප්‍රතිචාරදැක්වීමට සලස්වා ඔබේ ආරක්ෂාව තහවුරු කෙරෙන, තරමක් සංකීර්ණ ක්‍රියාදාමයක්.


'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' මානවයාට පමණක් සීමා වූවක් නොවෙයි. විශාල බල්ලෙක් බුරාගෙන පනිනවිට, ලෝම පුම්බාගෙන,පසු පාද දෙකට වාරුගෙන කෙළින් වී, ඉදිරි පාදවලින් උගේ ඇස්වලට පහරදෙන බළලුන් ඔබත් දැක තියෙනවාද? එමෙන්ම, එවැනි අවස්ථාවකදීම, ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් දක්වමින්, ලොම් පුම්බා උඩපැන පලායන බළලුන්වත් ඔබ දැක ඇති. එය සත්ව ලෝකය තුළ 'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' නිරූපණය වෙන කදිම නිදසුනක්.


'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' ඇතිවෙන්නේ හදිසි ආක්‍රමණයකට, සාමාන්‍ය පැවැත්ම කෙරෙහි ඇතිවෙන අනපේක්ෂිත තර්ජනයකට හෝ වෙනයම් අන්තරායකර සිදුවීමකට ප්‍රතිචාර වශයෙන්. වැඩිදුර සිතා බැලීමෙන් තොරව, අනිච්චානුගව ඇතිවෙන 'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' පාලනය කෙරෙන්නේ මිනිසාගේ පර්යන්ත ස්නායු පද්ධතියේ (peripheral nervous system) කොටසක් වන ස්වයංසාධක ස්නායු පද්ධතිය (Autonomic nervous system)  මගින්.


ස්වයංසාධක ස්නායු පද්ධතියේ 'අනුවේගී ස්නායු පද්ධතිය' (Sympathetic nervous system) විසින් දේහය හදිසි අවස්ථාවකට සූදානම් කිරීම සිදුවෙනවා. පසුව එහිම වෙනත් කොටසක් වන 'ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය' (Parasympathetic nervous system) මගින් සිරුර නැවතත් යථා තත්වයට පත්වෙනවා.


සියල්ලම ඇරඹෙන්නේ බාහිර පරිසරයෙන් තර්ජනයක් පැනනැගීම සමගින්. එය කුළු හරකෙක් හිස නමාගෙන ඔබ පසුපසින් එලවන්නට වීම වියහැකියි, නැතිනම් සැර පරුෂ විදුහල්පතිතුමා වේවැල අතින් ගෙන උඩුරැවුල කරකවමින් ඔබේ පංතිකාමරය දෙසට ඇවිදඒම වෙන්නත් පුළුවනි. එවැනි හදිසි අවස්ථාවකදී අපේ මස්තිෂ්කයේ ඇමිග්ඩලාව (Amygdala) සහ හයිපොතැලමසය (Hypothalamus) අතර ස්නායුක සන්නිවේදනයක් සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස හයිපොතැලමසයේ සිට පිටියුටරි ග්‍රන්ථිය (pituitary gland) වෙත රසායනික පණිවුඩයක් සම්ප්‍රේෂණය කෙරෙනවා.


පිටියුටරි ග්‍රන්ථිය මේ පණිවුඩයට පිළිතුරු සපයන්නේ අධිවෘක්ක බාහික හරණ හෝමෝනය (Adrenocorticotropic hormone) හෙවත් ACTH රුධිරයට මුදාහැරීමෙන්. එම හෝමෝනය වකුගඩුවලට ඉහළින් පිහිටා ඇති අධිවෘක්ක ග්‍රන්ථිය (adrenal gland) වෙත ගමන් කරනවා. මේ අතරතුරේ හයිපොතැලමසය විසින් ස්වයංසාධක ස්නායු පද්ධතිය ඔස්සේ ස්නායු ආවේගයක්ද අධිවෘක්ක ග්‍රන්ථිය වෙත සම්ප්‍රේෂණය කරනු ලබනවා.


එහි ප්‍රතිඵලයක් ලෙස අධිවෘක්ක ග්‍රන්ථියෙන් ඇඩ්‍රිනලින් (Adrenalin), කෝටිසෝල් (Cortisol) සහ තවත් ආතති හෝර්මෝන වර්ග ගණනාවක් රුධිරයට මුදා හැරෙනවා. ඉන් අනතුරුව ඇඩ්‍රිනලින් හෝමෝනය විවිධ සෛල වර්ග ගණනාවක් කරා ගමන් ගනිමින් ආතති ලක්ෂණ විද්‍යාමාන කිරීමට දායක වෙනවා.


ඇඩ්‍රිනලින් හෝමෝනයේ බලපෑම යටතේ අක්මා සෛල ඇතුළතදී ශක්තිය සංචිත කර ඇති ග්ලයිකොජන් (Glycogen), සරල ග්ලූකෝස් (Glucose) අණු බවට බිඳහෙළීම සිදුවෙනවා. මේ ග්ලූකෝස් අණු ක්ෂණික ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියාකරනවා. ඊට සමගාමීව කෝටිසෝල් හෝමෝනය මගින් මේද අම්ල (Fatty acids) බිඳහෙලීමෙන් ශක්තිය සම්පාදනය කරනවා. දැන් ඔබට පහර දෙන්නට එන්නේ අල්ලපු පන්තියේ කොලුවෙක් නම් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නත්, කුළුහරකෙක් නම් ඌට පිටුපා වේගයෙන් දිව යන්නත් අවැසි ශක්තිය ඔබ සතුයි.


ඇඩ්‍රිනලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය නිසා ඔබේ හදගැස්මත්, ආශ්වාස ප්‍රශ්වාසයත් වේගවත් වෙනවා. එමගින් ඔක්සිජන් සැපයුම ඉහළ මට්ටමක පවත්වා ගනිමින් මාංශ පේශි විඩාවට පත්වීම අවම කෙරෙනවා. ඉතින් ඔබට අනතුර වෙතින් පලායන තුරු විඩාවක් දැනෙන්නේ නැහැ. ඇසේ කනිණිකාව (Cornea) විස්තාරණය වෙන්නේ ඉහළ ආලෝක ප්‍රමාණයක් ඇස තුළට ඇතුළු කරගැනීමටයි.


සමේ ස්වේද ග්‍රන්ථි (sweat glands) මත ඇති ප්‍රතිග්‍රාහකයක් හා බැඳෙන ඇඩ්‍රිනලින් මගින් සම මතට දහදිය ස්‍රාවය වීම උත්තේජනය කෙරෙනවා. බොහෝ හදිසි අන්තරායයන්වලදී සිරුර දහදියෙන් පෙඟී යන්නේ ඒ නිසයි. රෝම කූප හා බැඳුණු කුඩා පේශීන් සංකෝචනය වීම නිසා රෝමෝද්ගමය සිදුවෙනවා. බියෙන් තැතිගැනුණ තරම කොතෙක්දැයි හැඟවීමට "හීගඩුත් පිපුණා" යනුවෙන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී විස්තර කරන්නේ මේ රෝමෝද්ගමය ගැනයි. ඇතැම් අවස්ථාවලදී රෝමෝද්ගමයෙන් නොනැවතී සිරුර වෙව්ලන්නටද පුළුවන්. එහි අරමුණ, ඉක්මනින් මාංශපේශි ක්‍රියාකරවීමට පහසුවන ලෙස සිරුර උණුසුම්ව තබා ගැනීමයි.


ඉහත ක්‍රියාදාමයට අවශ්‍ය ශක්තිය ආරක්ෂා කරගැනුම පිණිස ඒ හා සමගාමීව සිරුරේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ආහාර ජීරණය, බහිස්ස්‍රාවය වැනි ක්‍රියාවලීන්ට අදාළ සිනිඳු පේශි පටක (Smooth muscle tissue) විවේක ගැන්වෙනවා. එය යාමනය කෙරෙන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින්.


අවසානයේ, අනතුර පහවයාමෙන් පසුව, අනුවේගී ස්නායු පද්ධතියෙන් ආකූල කල සිරුර යථා තත්වයට එළැඹවීම පිණිස ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය රාජකාරියට වාර්තා කරනවා. ඉනික්බිති, පෙර අසාමාන්‍ය ලෙස වේගවත් වූ ක්‍රියාවලීන් ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය තත්වයට පත්කරනවා. සිනිඳු පේශි පටකය ඉහිල් වීම යටතේ විස්තාරණය වූ මුත්‍රාශය යළිත් යථා තත්වයට පත්වීම නිසා ඇතැම්විට මුත්‍ර පහ කිරීමට උවමනා වීම ආදිය නිරීක්ෂණය කළහැකියි. 


පුරුෂයන් හදිසි ආක්‍රමණයකදී පහරදීමෙන් ප්‍රතිචාර දැක්වීමට වැඩි නැඹුරුවක් දැක්වුවත්, ස්ත්‍රීන් බහුලව දක්වන්නේ පලායාමේ ප්‍රතිචාරයයි. මීට අමතරව, සමහරක් සත්වයන් ආක්‍රමණිකයා කෙරෙහි 'නැඹුරුවීමේ සහ මිතුරුවීමේ ප්‍රතිචාරය'ක් (Tend and Befriend) දක්වන අවස්ථාවන්ද දැකගත හැකියි.


'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' සත්ව පරිණාමයේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන ලද්දේ සිතාමතා (ඉච්ඡානුගව) ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය ඇතුළත සත්වයා අදාළ අනතුරට ගොදුරුවීමට ඉහළ සම්භාවිතාවයක් ඇති බැවින්. එය හදිසි ආපදා තත්වයකදී මානවයා ඇතුළු සත්ව සන්තතියෙහි ආරක්ෂාව තහවුරු කෙරෙන අපූරු නිර්මාණයක්. 





17 comments:

  1. ග්‍රීන් මල්ලියා ද, මහ ග්‍රීන්ද, ගැනොන් ලොක්කද, ගයිටන් ලොක්කද, කනින්හැම්ද, ලාස්ට් ද, චවුරාසියාද, නාත දෙයියො කියලා දුන්නාද නැත්නම් තමන් ම සොයා ගත්තාද???....

    ස ර ස තුමා උබතෝකෝටිකයට ලක් වෙලාය..

    ReplyDelete
    Replies
    1. ආර්ටිකලයේ යම් වරදක් වෙතොත් පෙන්වා දෙන්නේ නම් මැනවි.
      අඩුම තරමේ උභතෝකෝටිකයට පත් හේතුවවත්?

      Delete
  2. Replies
    1. කාර්වල ෆොටෝ ගන්න එක අනිච්ඡානුගත ක්‍රියාවක්ද?

      Delete
    2. කටුසු :
      දැන්නම් කාර් එකක් දැක්ක ගමන් කළණේ ෆෝන් කැමරාව ඕෆ් කිරීම අනිච්චානුගයි.

      Delete
  3. ඒ ලෙවල් වලට කරපුවා මතක් උනා. අපේ හිටපු සර් කෙනෙක් නියම උදාහරණයකින් ඔක්කොම එකවර කියල දුන්න. මෙතන කියන්න බැහැ ( කුණුහරපයක් නෙවෙයි)

    ලිපිය නම් හොඳයි. සමාවෙන්න බස්සි දැන් මට මේවා කියවන්න ටිකක් කම්මැලියි. නමුත් ගොඩක් කියෙව්වා. මේ ලිවීම් වැදගත් ඒවා අනිත් ලිවීම් වලට වඩා රසවත්ව ලියලා තියෙන හින්දා. දැනුම ගන්න උනත් කියවන විට ආසා හිතෙන්නත්, ඒ වගේම වචන භාවිතා කරන්නත් ඔයාගේ ඇති දක්ෂකම හින්දා වටිනවා.

    ;-)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ උපයා. ෆ්‍රී වෙලාවක හෙමින් බලන්ටකෝ. මටනම් කල්ප කාලාන්තරේකට පස්සෙ අද 'නොබිසී' උනා.

      තැන්කූ වේවා ඈ. අර උදාහරණෙ මොකද්ද හැබෑටම?

      Delete
  4. ෆිසික්ස් පංතියට පස්සේ සූලොජි පන්තියක් දාල වගේ.

    //පුරුෂයන් හදිසි ආක්‍රමණයකදී පහරදීමෙන් ප්‍රතිචාර දැක්වීමට වැඩි නැඹුරුවක් දැක්වුවත්, ස්ත්‍රීන් බහුලව දක්වන්නේ පලායාමේ ප්‍රතිචාරයයි// අපෝ මේකනම් අමු කෙප්පයක්. ඕක ඇත්තටම ගෙදර ඇතුලේ වෙන්නේ අනික් පැත්තට. බස්සි නගාත් මැරි කොරල නේද? හික්ස්!

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සූලොජි පන්තිය දැම්මෙ ෆිසික්ස් පන්තියට කලින් සතියෙ පත්තරේ. නිකමට බ්ලොගේටත් දැම්මා ඉතින්. මේ ටිකේ මුකුත් ලියන්න ඉස්පාසුවක් නොතිබුන හින්දා.

      Delete
  5. ටක්කෙටම පරණ සුලොජි පොතක් හම්බෙලා. Nice.

    ReplyDelete
    Replies
    1. අපි ඒ ලෙවල් කරන කාලෙ සූලොජි කියලා වෙනම විෂයයක් තිබ්බෙ නෑ නෙව.

      Delete
  6. මට ඕ ලෙවල් ක්ලාස් ගියපු කාලේ මතක් උනා. මේ පාඩම් ලස්සනට කියලා දුන්න චානක සර්ව මතක් උනා. දැන් අවුරුදු බර ගානක් වෙනවා මෙව්වා පාඩම් කොරලා. ඔයාගෙ ලිපිය ලස්සන මතකයක් අරගෙන ආවා. ටැන්කූ ඈ.....

    මේ කමෙන්ට් එක ටයිප් කරන තුන්වෙනි වතාව. මේ පාරත් හරි ගියේ නැතොත් D:......... අයියෝ මගෙ සල්ලි.

    ReplyDelete
  7. අල්ලපු ගෙදර බලු තඩියා මගෙ පස්සෙන් පන්නං ආව දවසෙ හිතුණා ඕනෙකම තියෙනවා නම් අපිටත් ඔලිම්පික් යන්න බැරිද කියලා. හි හි හි

    ReplyDelete
  8. ඇයි දැන් ඕවා අපිට කියන්නෙ

    ReplyDelete
  9. ඇයි දැන් ඕවා අපිට කියන්නෙ

    ReplyDelete
  10. බයේ ගැහිලා මුත්‍රා පහ වෙනව කියන්නෙ දුර්වල ලක්ශන කියල හිතුවට ඕන නම් ගේම දෙන්නත් ඇහැකි වගේ..
    ජයවේවා..!!

    ReplyDelete