Wednesday, January 13, 2016

ඉටි (කෙටිකතාව)





රෑ දහය කියන්නේ කලබල නගර වීදියක් පවා එකලස්ව නිදිමත බේරෙන ඇස් පිහද පිහදා ඈනුම් අරින වෙලාවක්. ඒ නිසාම විදුලිපංකාවේ සරසරය පවා බොහොම පැහැදිලිව කන ඇතුලේ කැරකෙනවා. සර සරස් - සර සරස් - සර සරස්! හරියටම පොත් සුවඳ මුහුවෙච්ච දූවිල්ල කලඹවාගෙන ඉස්පාසුවක් නැතිව කරකැවෙන පුස්තකාල පංකාවේ හඬ වගේමයි. එයා ඇහිපිල්ලම් ගහන්නෙත් ඒ තාලෙට. කෙටි විරාමයක් එක්ක වේගවත් ඇහිපිය සැලීම් දෙකක්. ආයෙමත් කෙටි විරාමයක්.


හෙට, හෙටින් පස්සේ දීර්ඝ අධ්‍යයන නිවාඩුව. ඉන් පස්සේ කැඩපතක් ඉස්සරහදි තමන්ගේ පිළිබිඹුවවත් නොපෙනෙන තරම් මනස මංමුලා කරවන සුළු විභාගය. එයින් පස්සෙ ඉවරයි හැමදේම. එහෙමත් නැත්නම් එතැනද පටන් ගැන්ම? 


මම හිරවෙලා. මේ මේසය උඩ තියෙන වීදුරු ඉටි පහන ඇතුලේ තියෙන පිම්බුන රතු පාට හදවත වගේ මම හිරවෙලා.


ඒක තෑග්ගක්. ලැබුනේ අවුරුදු හතරකට කලින්, උපන්දිනයට.


"රතු කොණ්ඩාකාරියට, දහනමවැනි අවුරුද්ද පුරාම රතු පැහැයෙන් දැල්වෙන්න" කියලා කැත, දිගැටි, කුරුමිණි අකුරෙන් ලියපු කාඩ්පතක් ඒ එක්ක අමුණලා තිබුනා. මම අමාරුවෙන් ඒ අකුරු කියවනකම් එයා බෙල්ල පැත්තකට ඇල කරගෙන, කට කොණකින් හිනාවෙමින් බලා උන්නා.


ඒක රතු පාට වීදුරු ඉටි පහනක්. උස් වීදුරු පාදය වටේට ලාබ පළිඟු හදවත් සහ රතු රිබන් පටි ඔතලා තිබුනා. පාදම දෙපැත්තෙන් තොල් ආලේපන වැගිරෙන මුහුණු දික්කරගෙන බලා උන්නේ කරදාසි රෝස මල් දෙකක්. ඊට ඉහළින් ඇති වීදුරු කුටීරය ඇතුලේ පිපිරෙන්න තරම් මහත රතු හදවතක්, සුදු පාට තිරිවාණ කැට ඇතිරිල්ලක් උඩ තැන්පත් කරලා, රතුම රතු ඉටි දියරයක ගිල්වලා තිබුනා.


මට වුවමනා උනේ අන්න ඒ හදවත.


මෙතැන මේ පාඩම් මේසය උඩ නිදිවරන හැම රාත්‍රියකම මම පුළුවන් තරම් උත්සාහ කලා ඒ ඉටි පහන දල්වන්න. ඉටි ස්තරය දියවෙන්නට ඉඩ ඇරලා ඒ දිලිසෙන රතු මහත හදවත එලියට ගන්න. ඒකෙන් ගන්න ප්‍රයෝජනයක් නම් මට පැහැදිලිව හිතාගන්න බැරි වුනා. එක්කෝ යතුරු කැරැල්ලට අමුණලා දබරැඟිල්ලේ දාගෙන කරකවන්න, නැතිනම් හිලක් විදලා එළිමහන් සාදයකදි මාල පෙත්තක් විදියට පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් පසුම්බියේ මුල්ලක තියාගෙන පරෙස්සම් කරන්න. ඇත්තටම ඉටි ස්තරය දිය කරන එකයි වැදගත්ම.


"ඉටි උණු වෙද්දි රතු හදවතත් පිච්චිලා යාවිද?" දැනමුතුකමක් ගන්න එක කොයිකටත් හොඳයි කියලයි මම හිතුවේ.


"ඔයා බයගුල්ලියෙක්!" එයා දතක් නියවලා නළල රැළි ගැන්වුවා. ඉතින් විය යුතු පරිද්දෙන්ම මම තවත් බය වුනා. 


තව එක දවසයි. නැත්නම් දෙකයි. වැඩිම උනොත් සතියයි. මම ඉටි පහන සටහන් පොත උඩ ඒ මේ අත පෙරළමින් පිලිතුරක් හෙව්වා. 


අන්තිමේ මම තීරණය කලා අවදානමක් ගන්න. කොයිහැටි වෙතත්, පිච්චිලා මැරෙනවට වඩා ඉටි ස්තරයක් ඇතුලේ හැංගිලා ඉන්න එක වේදනාකාරීයි. මට ඒක තේරුම් ගන්න අවුරුදු හතරක් ගතවුන එක අවාසනාවක්. මම හෙට උදේට ඉටි පහන දල්වනවා. නෑ! දැන්. මේ දැන් මම ඒක කරනවා.


ඊට කලින් කරන්න තව එක දෙයක් ඉතිරි වෙලා තියනවා.


"මම ඔයාට ආදරෙයි." මම කඩිමුඩියේ 'send' බොත්තම එබුවා. ඒක ප්‍රශ්ණාර්ථයක් නැති, දැඩි ප්‍රකාශයක්. යන්තම් වෙව්ලීමක්වත් නැති. අඩුම තරමේ විචිකිච්ඡාවක සේයාවක්වත් නැති.


දැන් මම ඉටි පහන දල්වනවා.






44 comments:

  1. ලස්ස තුනට සුභපැතුම්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විදානේ!

      Delete
  2. තාමත් බයයි ඉටි පහන දල්වන්න. නොදල්වාම හදවත ඉටි ස්තරය ඇතුළෙ හැංගිලා තියේවි හැමදාටම.

    ReplyDelete
    Replies
    1. පාවුලෝ ගෙ ‘‘පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුණෙමි.‘‘ නවකතාව මතක් වුණා. ඒ මං ආසම කතාවක්. පිලාර් තමන්ගෙ පෙම්වතා එක්ක අවන්හලේ ඉන්න මොහොතක අවන්හල් මේසයෙන් වීදුරුව බිමට දාලා බිඳින්න එයාගෙ පෙම්වතා කියනවා. සියලුම බැමි බිඳල දාලා නිදහස්වෙන්න කියලයි ඒකෙන් කියවෙන්නෙ. ඒක පිලාර්ට හරි අමාරු වෙනවා. ඇය හරිම බයයි. නමුත් අවසානයේ වීදුරුව හෙමිහිට තල්ලු කරනවා වැටෙන්න. ඒක බිඳෙනවා. පිලාර් බය වුණ තරම් ප්‍රතිඵල දරුණු නැහැ. එතනින් ප්‍රේමයට තටු ලැබෙනවා..

      මේ කතාව ආයෙම බලද්දි මට පිලාර්වමයි මතක් වුණේ.

      Delete
    2. //තාමත් බයයි ඉටි පහන දල්වන්න. නොදල්වාම හදවත ඉටි ස්තරය ඇතුළෙ හැංගිලා තියේවි හැමදාටම.//

      අයියෝ ඉතින්. තරුවක් කියන්නේ තමන් දැල්වෙමින් අනිත් අයට එළිය දෙන්න තරම් එඩිතර හදවතක්. තරු රාශියක් කියන්නේ ඒ වගේ කිහිපගුණයක එඩිතරකමක්!

      Delete
    3. By the river piedra i sat down and wept?
      අපේ ගොං නංගි ඒ පොත උස්සං ගිහින්නෙ. :/
      ගෙන්නගෙන කියවන්නම ඕනෙ. නැතුව මට මේ කමෙන්ට් එක තේරෙන්නෙත් නෑ.

      Delete
  3. වෙලාවට මට ඔය වගේ තෑගී දෙන්න කවුරුවත් නෑ. ඔන්න ඕක පත්තු කරලා දාන්න. හම්බුනොත් හම්බවෙයි.. නැති උනොත් ඒකත් ඉටි තමයි කියල හිතාගන්න. වැඩේ ඉවරයි..

    ReplyDelete
    Replies
    1. අන්න සරල සුන්දර විසඳුමක්!

      Delete
  4. අපූරුයි.. සෙන්ඩ් බොත්තම ඔබපු නිසා හොඳයි.ගිණිකූර අතකයි,ෆෝන් එක අනිත් අතෙයි තිබුන නම් ..... අබ සරණයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම උනානම් ෆෝන් එකේ ගහලා ගිනිකූර පත්තු කරගෙන නහය පුච්චාගන්න තිබුන.

      Delete
  5. ඔය අපි ජීවිතේ බය දේවල් තියෙනවා නේද? අන්න ඒවාම තමයි අපෙන් ඉක්මනටම අහිමි වෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනම් මමත් අත්දැකලා තියනව. :)

      Delete
  6. හොඳ කතාවක් බස්සි... කියවන අයට තමන්ගේම තේරුම්ගැනීම් වලට ඉඩ තියන කතාවක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිසර!
      තිසරගෙන් හොඳ කමෙන්ටුවක් හම්බුනා කියන්නෙ ඉතින් කෙටිකතාවට සෑහෙන වටිනාකමක් එකතු උනා කියන එකයි.

      Delete
  7. ඔය 'ඔයාට ආදරෙයි' කියන SMS තියෙනවා නේද? ඒවා හරිම ක්ෂනිකයි. ඒ වගේම නොමගහරිනා සුළුයි. කොටිම්ම නොකියවාම මකෙන්නට ඉඩ තිබෙන දේවල්... හරියට ඒ විදිරු හදවත වගේ ඉන්න වෙනවා , විදුරු කුටීරයෙන් එළිය බලාගෙන

    විභාගයක් කටේ තියාගෙන මමත් කරන දෙයක් තමයි අමතක වෙච්ච අල්මාරි අස්කරන එක, නැතිවෙච්ච මොකක් හරි පරණ කොලයක් හොයමින් පොත් රාක්කෙ පහුරුගාන එක.. මේකත් ඒ වගේ දෙයක්...

    හ්ම්ම්.. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. //විභාගයක් කටේ තියාගෙන මමත් කරන දෙයක් තමයි අමතක වෙච්ච අල්මාරි අස්කරන එක, නැතිවෙච්ච මොකක් හරි පරණ කොලයක් හොයමින් පොත් රාක්කෙ පහුරුගාන එක.. මේකත් ඒ වගේ දෙයක්...//

      ඇයි හද්දා පරණ SMS කියෝන එක. උස පිලිවෙලට ක්‍රීම් බෝතල් පෝලිම් හදන එක, පට්ට උනන්දුවෙන් ටියුට්වල අන්තිම පිටුවෙ කවි ලියන එක.

      අර කියපු ක්ෂණික පණිවුඩ නම් සිරාවටම භයානකයි තමා!

      Delete
  8. අවුරුදු හතරකට පස්සෙ හරි ඕක පත්තුකරල දාපු එක හොඳයි.
    ඉටිපන්දමක් දිහා බලාගෙන තමංගෙ අැඟේ තියෙන එක පුච්චගන්නවට වඩා.

    ReplyDelete
    Replies
    1. අනිවා! අන්න ඒක හොඳයි කියල මමත් හිතනවා.

      Delete
  9. ඉටි දැඩියි. එස්එම්එම් එක මෘදුයි.. හදවත කලුයි.. හැක්..

    පොඩි උනත් සරුයි.. ජය වේවා බස්සි..

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව බොහොමත්ම වටියි.
      ස්තූතියි දේශා

      Delete
  10. මටත් ඔය වගේ ඉටි පහනක් තියෙණවා කවද ඒ ඉටි පන්දම දල්වන්න වෙයිද කියලා මමවත් දන්නෑ..
    උපදෙසක් ගන්නත් මොකක්ද වගේ.
    ලස්සට ලියලා තියෙනවා අක්කේ.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි!

      ඔන්න ඕක පත්තුකරල දාන්ට අනේ.

      Delete
  11. ඉටි පහන දල්වන්න ඇයි අවුරුදු හතරක්ම බයෙන් හිටියේ.එතකොට මේ අවුරුදු හතර පුරාවටම සිතින් විතරක් පෙම් කරන්නම්.ගත්තු තීරණය වෙනස් වෙන්න කලින් මැසේජ් එක යැව්ව එක හොඳයි.නැතිනම් හිතේ දෙගිඩියාවෙන් තව කාලයක් ඉන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.
      තැන්කිව් මනෝ!!

      Delete
  12. අවුරුද්දක් තිස්සෙ පෙරුම් පුරලා මම පත්තුකරපු ඉටි පහන අවුරුදු හයකට පස්සෙ නිවිලා ගියානෙ :(
    එව්වා කොහොම උනත් මේ කතාව හරිම හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. පහනක් වුනාම කවදාහරි නිමෙන්න එපාය. දල්වපු එකයි වැදගත්!

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. කථාව ලස්සනයි නගා....මුල මැද අග හොදට ගැලපිලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා අයියේ!

      Delete
  15. Deep :) i wanted to cry..When I start to read it was like nothing special..but when it comes to the end it says everything :)
    great one akki.

    ReplyDelete
  16. "මම ඔයාට ආදරෙයි." ලියල කඩිමුඩියේ 'send' බොත්තම ඔබපු උදවියට බොහොම නිවිහැනහිල්ලේ පසුතැවෙන්න තියන චාන්ස් එක හුඟක් වැඩියි .........

    ReplyDelete
    Replies
    1. එක එක අයට එක එක විසඳුම්. :)

      Delete
  17. හිත්

    උණුසුමක් ළඟ
    දියවන
    ඇසිල්ලෙහි
    නැවත
    ගල්වන
    ඉටිය

    ReplyDelete
  18. හරිම ලස්සනයි බස්සි අක්කේ. ගොඩාක් කල් ඉදන් පෝස්ට් කියෙවුවට කමෙන්ට් එකක් නම් දැම්මෙ අදයි.:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!
      බස්සිගේ නවාතැනට ආදරයෙන් පිලිගන්නවා!

      Delete