Saturday, September 14, 2013

ජීවිතේ දිගු හීනයක් - සොඳුරුබර දිගු හීනයක්


ජීවිතේ දිගු හීනයක්
ජීවිතේ දිගු හීනයක්
සැබෑ ලෝකෙදි සැබෑ නොවෙනා
සොඳුරුබර දිගු හීනයක්.....




අපි කවුරුත් හීන දකිනවා. නින්දෙදි වාගෙම අවදියෙන් ඉඳිද්දිත් අපි හීන දකිනවා. බස්සිට හිතෙන විදියට නම් වඩා රසවත් අවදියෙන් ඉන්නකොට දකින හීන. සිරුර පියවි ලෝකෙ තනිකරලා මනසින් හීන ලෝකෙ සවාරියක් යන මොහොත හරිම සුන්දරයි. ඒක තත්පරයක්, විනාඩියක් වගේම පැයක් දෙකක් වෙන්නත් පුලුවන්. හීන බලන මොහොතෙදි කාලය නවතිනවා. ඒ නිසා හීන දකින්නාට කාලය වැදගත් නෑ.

හැබැයි කාලයෙන් වැඩ ගන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි හීන හැබෑ කරගන්න කෙනා.

හීන දකින ඕනැම කෙනෙකුට ඒ හීනෙන් මිදිලා පියවි ලෝකෙට පය ගහන්න වෙලාවක් එනවා. හීනෙක සැරිසරන්න පුලුවන්. නමුත් සදාකාලිකව හීනෙක ජීවත් වෙන්න අමාරුයි. හීන අතරෙ අතරමං වෙන එක සුන්දර වුනාට ප්‍රායෝගික නෑ.

 

සමහර හීන වලින් මිදිලා පියවි ලෝකෙට පය ගහන්න ඕනෙ ගොඩක් පරෙස්සමට. හීන ඉනිමගක පෙති දිගේ පරෙස්සමට පියවි ලෝකෙට අවරෝහණය වෙන්න වෙනවා. ඒ වාගෙ හීන අතරෙ නිතර නිතර අතරමං වෙන එක අවදානම්. පියවි ලෝකෙට දුර වැඩී. හදිසියෙන් ඉනිමග කඩා වැටුනොත් හිත තුවාල වෙන්න පුලුවන්. සදහටම ඒ කැළැල් නොමැකි හදවතේ ඉතුරු වෙන්නත් පුලුවන්.

 

කරන්න තියෙන නුවණැතිම දේ පියවි ලෝකෙදි ඉස්සරහට තියන පියවරක් පාසා හීනෙට ළං වෙන එකයි. හීන ලෝකෙදි නතර වුන කාලය, හැබෑ ලෝකෙදි වේගෙන් ගලාගෙන යනවා. ඒ නිසා පමා වෙන්න වෙලා නෑ.

 

හීන බිඳිලා ගියා කියලා සමහරු කම්පා වෙනවා. අපේ හීන බිඳින්න කාටවත් බෑ. අපි හීන දකින එක නවත්තන්නත් කාටවත් බෑ. බිඳලා දාන්න පුලුවන් අපේ බලාපොරොත්තු. කඩලා දාන්න පුලුවන් අපි හීනෙට ළං වෙන්න පියවි ලෝකෙදි ගොඩනගපු මාවත. ඒත් අපේ හීනය විනාශ වෙලා නෑ. ඒක තවමත් නැවුම්.




හීන ලෝකෙ අතින් අල්ලලා රසවිඳින්න කැමති උදවිය පියවි ලෝකෙදි හීනෙට ගොඩවෙන්න ඉනිමං තනනවා. එයාලා ජීවිතේ දිනනවා. එයාලගෙ දිනුම අපිත් දකිනවා. ඒක දකින සමහරු හිතනවා 'හීන දැකලා වැඩක් නෑ. ජීවිතේ දිනන්න නම් හීන දකින එක නවත්තන්න වෙනවා කියලා'. එයාලා තමන්ගෙ හීන වලින් ඈත් වෙලා ජීවිතෙන් පරාද වෙනවා.


හීනයක් හැබෑ වුනාම හදවතට තටු ලැබෙනවා. හැබෑ වෙන හීනයක් ගානෙ හදවතෙ බර හෑල්ලු වෙනව. එතකොට හීනෙන් හීනෙට පියාඹන්න තරමේ සැහැල්ලුවකුත්, ජවයකුත් ලැබෙනව.



හීනයෙන් හීනයට පාවෙන
හීන අතරේ අතරමං වෙන
වළාවක් සේ ඔහේ නැළවෙන
ජීවිතේ දිගු හීනයක්
ජීවිතේ දිගු හීනයක්......




හීන අපිව ජීවත් කරවනවා. අපේ හදවතේ හිස් තැන් පුරවනවා. ඇත්ත. මුලු ජීවිතේම එකම එක දිග හීනයක්. 




24 comments:

  1. Replies
    1. තෑන්ක්ස් ගෝඨා අයියේ.....

      Delete
  2. "ජීවිතේ දිගු හීනයක්" ඇත්ත කතාව බස්සි අක්කේ... :)

    ReplyDelete
    Replies
    1. බස්සි කිවුවොත් කියන්නෙ ඇත්ත කතාවක් තමයි!! :P
      තැන්කූ නංගියෝ......

      Delete
  3. මායාව හා යථාව අතර පරතරය ..........
    කදිමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්. අද තමයි මුලින්ම බස්සිගෙ නවාතැනේදි දැක්කෙ. දිගටම ඇවිත් යන්න එන්න හොඳේ...

      Delete
  4. ඇස් පියාගෙන වගේම ඇස් ඇරගෙනත් අපි හැමෝම හීන දකිනවා .
    එත් ඒ හීන සමහරක් ඇස් ඉස්සරහම දියවෙලා යනවා,, එතකොට හීනත් නිකම්හරියට faluda magic 1ක් වගේ .
    කනකම් දිවට රසය දීල cool 1 එක්කම රසයක මතකය විතරක් ඉතිරි කරලා යනවා . සමහරක් හීන අපි හිතනවටත් වැඩ හොදින් සැබෑ වෙනවා .කොයි දේ උනත් හීන හැම 1ම හීන දකින මිනිහගෙමයි . තවත් කෙනෙක්ගේ හීනෙක චරිතයක් වෙනවට වඩා තමන්ගේ හීන වලින් අනුන්ගේ හීන වලටත් පාට දෙන්න පුළුවන් නම් එතරම් හීනයක් තවත් නෑ .
    හීන දකින්න දකින්න අපි ජීවත් වෙන්න ආස කරනවා . අන්න ඒ නිසා තමයි හීන නොදකින කෙනෙක්ට වඩා,,, බයානක හීන වලින් තිගැස්සෙන කෙනෙක් වුනත් ලෝකෙට වටින්නේ .මොකද අඩු තරමේ එයා බයෙන් මිදෙන්න හරි උත්සහ කරන නිසා .

    ReplyDelete
    Replies
    1. හානේ මෙන්න අපේ මස්සිනා පොඩ්ඩටත් බස්සිගේ නවාතැනට ගොඩබහින්න හිතිලා. සෝයි සෝයි!!!

      Delete
    2. අඩේ මෙයාව මං දන්නවනේ මෙයා කොහොමද බස්සිගේ නෑයෝ වෙන්නේ ?

      Delete
    3. මේ බස්සගේ මල්ලිනේ. වැඩියෙ එන්නෙ නෑ මේ පැත්තේ එයා. ඔය කමෙන්ට් කරපු පළමු වතාව වෙන්න ඕන.

      Delete
  5. සිහින සැබෑකරගන්නේ සිහින දකින්නායි,සැබෑ වුවත් නොවුවත් නොකඩවා සිහින මැවිය යුතුයි.
    මෙය මගේ ජීවිතයේ මා අත්විඳි සත්‍යයක්.

    ReplyDelete
    Replies
    1. මමත් මේ දේවල් සටහන් කලේ අත්දැකීමෙන්.
      අද නේද පළමු වතාවට මේ පැත්තට ආවෙ? ආපහු ඇවිත් යන්න එන්න හොඳේ.....

      Delete
  6. බස්සී.......සිහින යනු බලාපොරොත්තුය. බලාපොරොත්තු ඔබව ජීවත්කරවයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අරූ, බස්සිගෙ වර්ගීකරණය අනුව නම් සිහින සහ බලාපොරොත්තු යනු එකිනෙකට මද වශයෙන් වෙනස් දේවල් දෙකක්. බලාපොරොත්තු විරහිත මොහොතක වුනත් අපිට හීන ලෝකෙ පාවෙන්න හැකියාව තියෙනවා නෙවෙද?

      Delete
  7. ඇති යන්තන් බස්සි ආයෙමත් ලියලා :)

    අලුත් රැකියාවට සුබ පැතුම් නගා :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ නිශාදි අක්කා....!!! ඔයා බයවුනාද මට BMICH එකේ සිකියුරිටි ජොබ් එකක් වත් සෙට් වෙලා එහෙ නැවතිලා කියලා... ;)

      Delete
  8. හීන නැත්නම් අපි ජීවත් වෙන එකකුත් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හීන තමයි ජීවිතයට අරුතක් දෙන්නෙ. හීන නැත්නම් අපිත් රොබෝවරු වගේ වේවි.

      Delete
  9. බලාපොරොත්තු ඕනේ.ඒත් ඕනාවට වඩා හීන අස්සෙ හිරවෙන්න හිරවෙන්න අපිව ජීවිතෙන් ඈතට යනවා කියල මට හිතෙන්නේ.... පියවි ලෝකෙ ඉන්නව නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා.

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නෙ හීන කියන්නෙ පියවි ලෝකෙ ඉඳලා අපි පිස්සු වැටෙන එක නවත්තන්න හදාපු ඖෂධයක් කියලයි...

      Delete
  10. පෙනෙනා නිසා............. අඳුරේ පවා..............
    සිහිනේ වටී..................... පැතුමට වඩා..............

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සිහිනය පාලමකි. මෝක්ෂයට නිර්වාණයට මේ ලොව යා කරන පාලමකි. හීනෙන් කවුරුන් වෙන්න හැදුවත් වෙන්න පුළුවනි. හැබැහින් මට වෙන්න පුළුවන් මා පමණි. බැරි දේ මවන්නට හිතට ඉඩ දෙන හීනය රැඳී ඉන්න නුඹ වෙලාවකට මහා ඔසුවකි

    ReplyDelete
  13. හීන දැකීමේ අයිතිය සුරකිමු. ඒ වෙනුවෙන් සටන් වදිමු. - මීට බස් එකේදිත් හීන දකින මම

    ReplyDelete