Friday, October 18, 2013

මාරක බස් ගමන (සංවේදී හදවත් ඇත්තන් කියවන්නට එපා හොඳේ!)


කස්ටිය දවස් පහේ ලෝන්ග් වීක්එන්ඩ් නිවාඩුව රසවින්ඳාට පෞද්ගලික අංශයේ රැකියා කරන අපි වාගේ අසරණයන්ට ඒ චෑන්ස් එක ලැබුනේ නැත. ඒ වෙනුවට බස්සිට ටිකක් වැඩිපුර මහන්සි වෙන්නට සිද්ද වුනේ දවස් පහේ වැඩ ලෝඩ් එක දවස් හතරකින් ඇද හමාර කිරීමටය. වැඩට අකමැත්තක් නැති නිසා අවුලක් නැතත්, ගෙදර බලා පියාඹන්නට වුනේ අද උදේමය.



බස්සානම් ඊයේ රාත්තිරියේම ගෙවල් බලා ඉගිල්ලී තිවුන නිසා බස්සි බෑග් මලු දෙකත්, ලැප් කෙටියත් උස්සාගෙන වැනි වැනි තනියම ගෙදර කොටන්නට වුනේය. බැරිමරගාතේ අලුත් පාලමෙන් බසයෙන් බැස කටුනායක බස් එකක එල්ලුනේ ඉක්මනට ගෙදර යන්නට තිවුනු දැඩි උවමනාව නිසාය. (දැන් අහපල්ලා ඉගිල්ලෙන්ට පුලුවන්කම තියෙද්දි ඇයි බස් වල ගියෙ කියලා. බෑග් මලු තුනක් එල්ලන් තටු ගහන්ට බස්සි දුවන්නේ පැට්ට්‍රෝල් වලින් යැ?)


ආවු අප්පා!! හිස් ආසන තිවුනේ එකෝම එකක් ය. ඩයිවර්ට පිටිපස්සේ සීට් එකය.




 
බස්සිත් ඉඳගෙන ඇබ දෙක කනේ ගසාගත්තේය. සිංදුවක් අහන්නට ඉස්පාසුවක් ලැබෙන්නේ ගමනේ යෙදෙන අතරතුරේ විතරක් නිසා ය. විනාඩි තුන හතරකින්ම බස්සිට මේ බස් ගමනේ වෙනසක් දැනෙන්නට විය.


ඔලුව උස්සා බැලූ විට බස් කාරයා පත්තෑයෙක් වගේ පාර පුරාම යනවාය. හරියට පාර උගේ වගේය. පෝය දවස නිසා වාහන නම් අඩුය. ඒත් බස්සි දන්නා තරමින් පාරෙ යන උන්ට අඬගසා ලැයිසොං දෙන්නේ නැත.



ඊගාව හෝල්ට් එකේ බස් එක නැවැත්තූ ගමන් ඩැයිවර් මල්ලි (පොර නම් මල්ලියෙක්ම විය යුතුය. අවුරුදු විස්සක, විසි දෙකක විතර පෙනුමක් ඇති එකෙක් ය.) ආසනයෙන් උඩට ඉස්සී ඉහට උඩින් වූ වයර් කෑලි දෙකක් අමුණන්නට උනේය. පොර මහත් උනන්දුවෙන් අමුනා ඇත්තේ ටී.වී. වයර් එකය.


යක්කල මුල්ලේ පැවැත්වූ ***ස්ටාර් (සුපර් ස්ටාර් නොවේ!) සංගීත ප්‍රසංගය කියන අකුරු පේලිය තිරයේ දිස් වුනේය.

බස්සිගේ පෝං එකෙන් ආසාම සිංදුවක් කනේ වදින්නේය.

You can keep me
Up on the phone all night
We say let's hang up on three
But we don't ever do it
Ain't it crazy
How after all this time
We got that you hang up
No, you hang up kinda love
We got that you hang up
No, you hang up kinda love


ටී.වී. තිරය දෙස බලන බස්සිගේ ඇස් උඩ ගියේය.

Volume 38
Volume 39
Volume 40 - 41 - 42


ඩැයිවර් මල්ලියා තවත් වැඩේ අත ඇර තිවුනේ නැත. මිනිස්සු නගින පාටක් නැති නිසා වාසනාවට 45න් වැඩේ හමාර උනේය.

 
දැන් බස්සිට සිංදුව ඇහෙන්නේ මෙහෙමය.


I still get the goosebumps
I felt the first time
That I saw you <<


ඇත්තටම හරිම සතුටුයි. අපි මේ ගමට ආපු පළවෙනි වතාව තමයි මේ.....


Girl, you had me hooked on 
that beautiful view........
 
කෝ සද්දේ....!!!

 
I know that this thing we have
Won't ever change
That's why I have
The confidence

 

දෙන්න මල්ලිලා අත්දෙක උඩට උස්සලා.... කෝ කෝ?? ඔය මදී.... කෝ මට ඇහෙන්නෙ නෑ තවම.... (ඌ නම් පුදුම බීරෙක්ය. හෙඩ් ෆෝන් දෙක පලාගෙන මටත් නරඹන්නන්ගේ හූව ඇහෙනවාය.)


No, you hang up kinda love
We got that you hang up
No, you hang up kinda love


අත්දෙක කට ගාවට අරන්.... තව හයියෙන්!! (මූ මේ කියන්නේ ගෘප් එකට හූ කියන්න කියලා විය යුතුය.)


බැරිම තැන බස්සි ප්ලේයරය ඕෆ් කර දැම්මාය. හෙඩ් ෆෝන්? එවුවා කන් දෙකේම තියෙන්නට ඇරියේය. ඇස් පේන්නෙත් බාගෙට වෙච්චි කොට තවම ලෙඩක් නැතුව වැඩ කොරන කන් දෙක බස්සිට වටිනවාය.




එතකොට බස් එකේ යන අනිත් මිනිස්සුන්ගේ කන්??

බස්සිටත් ඇතිවුන ලොකුම ප්‍රස්නය ආන්න ඒකය.


ඒත් පුදුමය කියන්නේ එකෙක්වත්, එකෝම එකෙක්වත් ඒ සංගීතයට විරුද්ධ වුනේ නැති එකය. බස්සි වාගේම ඒ අයත් ඕකට විරුද්ධ වී පලක් නැති බව අත්දැකීමෙන් දන්නවා ඇතිය. ඒත් අපි ගෙදරදී ටී.වී බලන්නේ වොලියුම් පහළොවට නැත්නම් දහසයට අටවාගෙනය. මේ ආසන්න වශයෙන් ඒ වාගෙ තුන් ගුණයක ශබ්දයකි.


ඉතිං මේ අවනඩු කාට කියන්නද?

ඔව්. ඩැයිවර්ට, කොන්දාට විරුද්ධව නැගී සිටින්නට හැක. ඒ වාගෙ සිද්ධියක් දැනට වසර තුනකට විතර පෙර සිදු වුනේය.

 
ඒත් සිකුරාදාවකි. බස්සි කැම්පොස් ඉඳන් ගෙදර යන්ට බස් එකට නැග්ගේය. බස් එකේ බස්සිගේ ඉක්කෝලෙ යාලුවෙක් හා එයාගේ මවුතුමිය වාඩිවී සිටියේය. යාලුවා අලුත් නැවෙන් කොළඹ කැම්පොස් එකෙ සෞන්දර්‍ය පීඨයට ගොඩබහින්ට යනවා ය. උන්දෑව ඒකේ වෙල්කම් එකකට එක්කාන ගිහින් ආපහු එන ගමනය. දවසම රස්තියාදු වී මවුතුමියට තද ඔලුවෙ කැක්කුමක් හැදිලාය.


බස් එක පිටත් උනේය. සිංදුව නැතුව රෝද කරකැවෙන්නේ නැති නිසා කන පැලෙන්නට බස් කැසට් පටයක් වාදනය වන්නට විය. ස්පීකරය ඇත්තේ අපේ ඔලුවට උඩිනි.


යාලුවාගේ අම්මාට අමාරු බව පෙනුන නිසා කොන්දොස්තරගෙන් ටිකක් ගත් පසු බස්සි පළමු පන්දුව එල්ල කලේය.

"අංකල් කැසට් එකේ වොලියුම් පොඩ්ඩක් අඩු කරන්න පුලුවන් වෙයිද?"

කොන්දා ඇස් දෙක දොට්ට දාගෙන මා දිහා බැලුවේය. "බස් වල යන පළවෙනි දවසද?" කින්ඩි හිනාවක් දැමූ ඒකා මා සිටි පැත්තවත් බැලුවේ නැත.


දෙවන වර කොන්දාට පන්දුව එල්ල කලේ යාලුවාය. "අංකල් කැසට් එකේ වොලියුම් පොඩ්ඩක් අඩු කරන්න පුලුවන් වෙයිද? අපේ අම්මට හොඳටම උණ. සද්දෙ වැඩි නිසා අමාරුයි."

"හා" කොන්දා සෙනග අතරේ අතුරු දහන් වුනේය. සද්දය අඩු වීමක් නම් වුනේ නැත.


යාලුවාගේ අම්මා අමාරුවට ඇස් වල කඳුලු පුරවාගෙනම යලිත් වරක් කොන්දාට පන්දුව එල්ල කලේය. කොන්දා එවරද අති සාර්තකව අඩියක් පසුපසට තබා කඩුල්ල මුවා කර බේරුනේය.

හරි යන පාටක් නැත. යාලුවාගේ අම්මාට ස්පීකරයේ වයරය පෑගුනේ එවිටය.

"හොඳින් බැරිනම් නරකින්. ඇයි දෙයියනේ නැත්නම් බස් වල යන මිනිස්සු ටික කාලෙකින් බීරො වෙලා නෙව නවතින්නෙ." ඇන්ටි ගේමට එන්ටර් වු
නේය.


වත්තල ටවුන් එක පහු වෙනකොට ඇන්ටිගේ මෙහෙයුම සාර්තක විය. කැසට් අඳෝනාව අවසාන විය. මගියෝ ගමනේ ඉතුරු ටික සැනසිල්ලේ ගමන් ගත්තේය.


 

බස් එකේ තවමත් කන පැලෙන්න සිංදුව වාදනය වෙන්නේය. රබර් ආවරණ අස්සෙන් රිංගන කරච්චලයත් බස්සිට ඔලුවේ කැක්කුමක් ඇතිකරේය. ඒ අතරේ ඩැයිවර් මලයා බස් එක එලවන ගමන් ඇස් බෙල්ල කරකවා ටී.වී. එක බලන්නේය. පොර ගමන පුරාම Rear view mirror එක කියා වරද්දාගෙන තිවුනේ ටී.වී. තිරය ය. වරින් වර side mirror එක යැයි වරද්දාගෙන රෝස පාට ජංගම දුරකතනයකටත් එබුනේය.


කොහොමින් කොහොම හරි පණ බේරාගෙන ගෙදර එන්න ලැබුන එක ගැන බස්සිට සතුටුය.

43 comments:

  1. උන් ඔහොම තමා , අනේමන්දා දැන් පුහුනුවකුත් දෙනවා ආන්ඩුවෙන් , එකෙදි කියලා දෙන්නේ ඔව්වා කොරන්ඩද දන්නැ

    ReplyDelete
    Replies
    1. සමහරවිට එහෙම වෙන්ටැති. අපේ ආණ්ඩුව හරී ආසයිනෙ ඔය වාගෙ පුහුණු වලට.

      Delete
    2. මෙකත් බලන්න්නකො.බස් ගැන http://damgune.blogspot.com/2013/09/blog-post.html

      Delete
    3. මේ බලන්ට යන ගමන්...

      Delete
  2. අපෝ මටත් පේන්න බෑ ඔය බස්වල සිංදු කරදරේ නම්...මහන්සි වෙලා ගෙදර යන දවසක නම් ඉතින් සොරිම තමයි :/

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නංගා.... පැයකට ලේ පයින්ට් දෙකහමාරක් විතර පිච්චෙනවා. ගෙදර යද්දි මාන්දම වගේ. ;)

      Delete
  3. හැබැයි සමහර පරණ driver ල ඉන්න bus වලනම් අහන්න පුළුවන් සින්දු යනවා.. ගොඩක් වෙලාවට අපි මාතර එන bus වලනම් යන්නේ කනට ප්‍රිය සින්දු දෙක තුනක් තමයි.... හැබැයි බස්සි අක්ක වෙලාවට මාතර bus එකක හැමදාම යන්නේ නැත්තේ.. කොයි වෙලාවේ තව bus එකක් kiss කරයි ද කියල sure නැතුව තමයි එහෙනම් යන්න වෙන්නේ..:D

    ReplyDelete
    Replies
    1. බස් වල නෙමෙයි Tracy අපේ තාත්තා එක්ක මාතර යනකොටත් (බස්සාගෙ ගෙදර යද්දි.) මම පරාණ බයේ යන්නෙ ඔය බස් කාරයො අපේ වාහනේ සිපවැළඳ ගනීවි කියලා. රේස් යන්නෙ මාර ආදරෙන්. හේත්තු වෙලා යන්ට පුලුවන්නම් ඒකත් කොරයි.

      Delete
  4. අශ්චර්යයනේ මෙයා.... ඇත්තටම මෙහෙ ආපු මුල් කාලේම මට හිතුන ලංකාවේ බස් ඩයියරලව පුහුණුවකට වගේ අඩුගානේ එක සතියකටවත් මෙහෙට ගෙන්නගන්න පුලුවන්න්නම් කොච්චර ලොකු දෙයක්ද කියලා...... පාරේ යනකොට ආසාවට එක horn සද්දයක් නෑ..... බස් ඒකේ tv 2ක්ම තියෙනවා ඒවා හයි කරලා තියෙන්නේ ඩයියර්ට ඇරෙන්න අනික් ඕන කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න සද්දේ ඇහෙන්නේ උවමනාවෙන් අහන් හිටියොත් විතරමයි......

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තියෙනවා මැලේ ඔය කතාව. අනේ මන්දා මං හිතන්නෙ මේක වෙන්ටැති ආසියාවේ ආශ්චර්ය කියන්නෙ.

      Delete
  5. //ඒ වාගෙ තුන් ගුණයක ශබ්දයකි. ඩෙසිබල් ගාන ඊටත් වැඩි ගුනාකාරයකින් වැඩි වෙනවා ය. (බස්සිට මතක හැටියට.)// බස්සි ගේ මතකය දුර්වල වෙලා නැත්නම් physics පටලැවිලා.

    රියදුරා හිතනවා ඇති උගේ රසවින්දනෙම අනෙක් අයටත් ඇති කියලා. ඔය වගේ තැන්වලදී පොඩි සද්දයක් දැම්මා නම් සද්ද නැතිව ඉන්න බොහෝ අය උදවුවට එනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් විශ්ව. ෆිසික්ස් ඉගෙන ගත්තෙ අවුරුදු එකහමාරක් විතර (එක්සෑම් එක ගොඩ දාගන්න විතරමයි.). ඉන්පස්සෙ කැම්පස් එකේදි ෆිසික්ස් ඉගෙනගන්න සෙට් වුනේ නෑ අණුක ජීව විද්‍යාව නෙව සෙට් වුනේ. ඔයාට මේකෙ ෆිසික්ස් පැත්ත මතකනම් කොමෙන්ටුවක කොටලා යනව ද....

      Delete
    2. ඩෙසිබල් වලින් මනින්නේ තීව්රතා මට්ටම වන අතර අප ශබ්දයක සැර තීරණය කරන්නේ තීව්රතා මට්ටම අනුව වේ . එක නිසා තීව්රතා මට්ටම 3න් ගුණයකින් වැඩි වුනොත් අපට දැනෙන්නේ ශබ්දය 3න් ගුණයකින් වැඩිවීමයි. දැනට බහුලව ඉලෙක්ට්‍රොනික පරිපත වල ඇති digital volume control වල ශබ්දය වැඩි වන්නේ තීව්රතා මට්ටමට සමානුපාතව බැවින් එවැනි උපකරණයක ශබ්දය 15 සිට 45 ට වැඩි කලොත් තීව්රතා මට්ටමටද එයට සමානුපාතිකව වැඩිවේ.

      ධවනි තීව්ර්තාවය වර්ග මීටරයට වොට් වලින් මනින අතර එය සහ තීව්රතා මට්ටම අතර ඇත්තේ logarithmic සම්බන්ධතාවයක් එක නිසා තමයි ධවනි තීව්ර්තාවය 1000 ගුණයකින් වැඩිකලොත් තීව්රතා මට්ටම 30 කින් වැඩිවීමයි සිදුවන්නේ. ඔබට අමතක වුයේ එයයි.

      Delete
    3. අමතක වෙලා ගිහින් තිවුන ෆිසික්ස් පාඩම් මතක් කරලා දුන්නාට බොහොම ස්තූතියි විශ්ව. ඔන්න මම ලිපිය නිවැරදි කලා.

      Delete
  6. ඔය බස් සිංදුනම් වෙලාවකට එපා වෙනවා තමයි ... ඒත් සමහර වෙලාවට හොදා කියලත් හිතෙනවා ඒක ඉතින් අපි ඉන්න මුඩ් ඒක අනුව තමයි ,,.

    ReplyDelete
    Replies
    1. කොයි මූඩ් එකක හිටියත් බස්සිගේනම් මූඩ් එක චකබ්ලාස් වෙලා යනවා බස් කාරයෝ කන පැලෙන්න වොලියුම් වැඩි කරනකොට. සින්දු අවුලක් නෑ, ලොකුම අවුල වොලියුම් එක.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඔය කරච්චලේ හින්දම දුර බස් ගමන් ගියේ නැහැ අවුරුදු ගානකින්. යන්නෙම කෝච්චියේ...කෝච්චි සද්දේ ඔයිට වඩා දහස් වාරෙකින් හොඳයි...
    අවුරුදු බර ගාණකට කළින් මාත් 'පුක මූණ ප්‍රයිවට් වෑන්' එකක පස්සේ සීට් එකේ පිටිපස්සේ හයි කරලා තිබුන ස්පීකර් වයර් එකකට දුන්න ගේමක්...
    ප.ලි. 'පුක මූණ ප්‍රයිවට් වෑන්' කිව්වේ තනි දොරේ පොඩි වෑන් වලට...හිටගෙන යන අයගෙ පුක ඉඳගෙන යන අයගේ මූණේ වදින හින්දා :-)

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ බස්සිත් ඉස්සර ඉස්කෝලෙ ඉඳන් අම්මලාගෙ ඔෆිස් ක්වාර්ටර්ස් එකට යන්නෙ ඔය කියන වෑන් වල. (ඇතුලෙ පාරක් නිසා බස් යන්නෙ නෑ.) ඒ වෑන් වල දිනපතා යන්න වුනානම් එහෙම කොන්දෙ අමාරුවක් හැදිලා මේ වෙනකොට.

      Delete
  9. කෝච්චියේ යන එක දාහෙන් සම්පතයි! ලඟදි යාල්දේවි timetable වෙනස් කරලා නිසා බස් එකක ආවා. බස් එකට නැග්ග ගමන් මම කරන්නේ හොඳට කොහොම හරි නිදා ගන්න try කරන එක! නැත්නම් ඔය විසුක දස්සන බල බල කොහොම එන්නද!

    ReplyDelete
    Replies
    1. කන පැලෙන්න සිංදු දාලනෙ නාඩියා. ඉතිං කොහොමෙයි නින්ද යන්නෙ. කෝච්චියේ ගමන දාහෙන් සම්පතයි තමයි.

      Delete
  10. ඇයි බස්සියෙ උදේ 7.35 කෝච්චිය තියෙන්නෙ....කටුනායකින්ම බහින්න පුලුවන්නෙ....බස් වගේ නෙමෙ බං හරිම ලේසියි..බස් වල යන එක මහ වාත වැඩක්නෙ...

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒක පෝය දවසෙත් දුවනවද? පෝය දවසෙ කෝච්චි හොයන්ට ගිහින් චාටර් වෙන්න වෙයි කියල බස්සි හිතුවා බස් එකේම යන්ට.

      Delete
  11. ඔන්න දවසක් හෙනහුරා ප්‍රයිවට් බස් එකක යනකොට ඩැයිවර් මල්ලිට කෝල් එකක් ආවා. හෙනහුරත් ඉඳගෙන හිටියෙ ඉස්සරහම සීට් එකේ. එදාත් පෝය දවසක්. පෝය දාට හාමුදුර‍ැවො බස් වල යනව අඩුයිනෙ. ඩැයිවර් මල්ලි එක අතකින් ෆෝන් එක අල්ලගෙන කෝල් එක ආන්සර් කරන ගමන් අනිත් අතින් හැටන් ගිිනිගත්හේන පාරෙ වංගු ටික කපාගෙන පල්ලෙහාට බස්සනවා. මෙන්න එක පාරටම පොර කියපි " අක්කෙ මට අනිත් ෆෝන් එකේ කෝල් එකක් එනව. තියන්නම් හොදේ". මූ සෙල් ෆෝන් දෙකක් එක්කල බස් එලවන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම් හෙනහුරෝ. මං හිතන්නෙ උං සයිඩ් කණ්නාඩි වෙනුවට බලන්නෙ සෙල් ෆෝන් ස්ක්‍රීන් එක. ඒකනෙ දෙකක්ම තියාගෙන ඉන්නෙ.

      Delete
  12. බස් වල සිංදු හන්දම කප් ගහපු කට්ටියකුත් ඔන්නේ බස්සියේ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... කස්ටියගෙ නම් වලට ඉස්සරහින් "බස්______" කියලා ගෞරව නාමයකුත් එක්කනෙ හඳුන්වන්නෙ.

      Delete
  13. ඕවට තමා බස්සියේ කියන්නේ සෙට්අප් එකකට බස් එකක් හයි කරලා කියලා...මගී ප්‍රවාහන පනතේ තියෙනවා වොලියුම් එකට තන්චියක් පනොලා මතක හැටියට එක බෙල් 20 අඩුවෙන් තියෙන්න ඕනි....අපේ ඩයි අයියලා දන්න ඩේසිබල්

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ ඒක නීති පොත්වලත් තියෙනව ද? කියා දුන්නට තැන්කූ ආචාරියෝ..!! පොලෝසියෙ මාමලාට එහෙම කන් ඇහෙනව හොර ඇති ඔය නීතිය ක්‍රියාත්මක නොවෙන්නෙ.

      Delete
  14. ගොඩක් බස් වල ස්පීකර්,බෆල් තියෙන්නෙ පිටිපස්සෙනෙ...ඉතින් ඉස්සරහා ඉන්න ඩ්‍රයිවර්ට ඇහෙන්න ඕක ටිකක් සද්දෙට දාන්න එපැයි...අනික අපිට ඒක බස් එක උනාට ඒගොල්ලන්ට ගෙදර වගේ...

    එයාලා දැනගන්න ඕනේ ඒ බස් එක ඇතුලේ එක එක මානසිකත්ව වල පුද්ගලයෝ ඉන්නවා කියලා...කාට උනත් කන් අඩි පුපුරන්න සද්දෙ ඇහෙනකොට අමාරුයිනේ..

    තේරුම්ගන්න මොළයක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ...

    ReplyDelete
    Replies
    1. බෆල් දෙකක් තිවුනා රෙහානි අක්කේ මම ඊයෙ ආපු බස් එකේ. එකක් ඩයි මල්ලිගෙ කන ගාවමයි - මගෙ ඔලුවට උඩින්. ඒ නිසා ගන්න වෙන එකම නිගමනය ඩයි මල්ලිගේ කන් ඇසීම හොරයි කියන එක තමයි.

      Delete
  15. මම නං ඔය වැඩේ කරල තියනව. කාගෙවත් සිංදු ඇහිල්ල නවත්තන්න අපිට බැරිවුනත් කන පැලෙන්න සද්දෙ තියනව නං මම කියනව කෙලින්ම අඩුකරගන්න කියල. මගේ ඉල්ලීම් වලට මෙතෙක් අයහපත් ප්‍රතිචාර ලැබිල නෑ.

    ඒ වගේම මගේ තවත් විනෝදාංශයක් තමයි "බස් සිංදු" ඇසීම. කවදාවත් අහල නැති "ඉතාම චාටර්" පදමාලා සහිත සිංදු අහමින් ඒවා හිතෙන් විචාරය කරමින් හිතෙන් හිනාවෙමින් යන එකෙත් පොඩි ආතල් එකක් තියනව :-)

    ReplyDelete
    Replies
    1. මමත් ඔය විචාරය නම් කරනවා අපේ ගේ පිටිපස්සෙ බෝඩිමේ කන පැලෙන්න බස් සිංදු දාන වෙලාවට. (දුරින් තියෙන නිසා සද්දෙ අඩුවෙන් ඇහෙන්නෙ.) හැබැයි කන රිදෙන්න සිංදු යනකොටනම් ඔලුවත් එක්ක කැරකෙනවා නෙව.

      ඉස්සර හොඳ සිංදු කියාපු ගායකයෙකුත් දැන් නහය යටින් බස් සිංදු කියන්න පටන් අරන් නේද රාජ්. අපරාදේ කියල හිතෙනව ඇහෙනකොට.

      Delete
  16. දෙදරන්න සද්දේ දාගෙන යන බස්වලට මං නං හෙනම ආසාය ........ ඒ නිසා ඩ්‍රයිවර් තුමාට මාගේ ප්‍රනාමය ... උම්ම්මා

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකා ඩයි මල්ලිට උම්මා දෙනවෝ.... ඇස් පියා ගනිල්ලා..... :P

      Delete
  17. ඔය බස් කරච්චලේ නම් මටත් පේන්න බැරි ඒකක්. නුවර යන ඒනකොට කෝච්චියක් අල්ල ගන්න බැරි ම වුණොත් තමා මම බස් ඒකකට ගොඩ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමත් එසේම ය. ඔය සීන් එක වැඩිපුර තියෙන්නෙ දුර ගමන් යන බස්වල නෙ. කෝච්චියේ හිර වෙලා චප්ප වෙන වෙලාවක් වුනත් මීට වැඩිය දාහෙන් සම්පතයි.

      Delete
  18. ඒත් නම් මදෑ සමහර බස් වල ගිහින් බහිද්දි සමහර සිංදු තියෙනවා ඒ සිංදුව ගායකයට වඩා අපිට කට පාඩම්. ඇයි එකම සිංදුව විසි තිස් පාර එක දිගටම අහන්න කැමති ඩ්‍රයිවර් බුවාලත් ඉන්නවානොවැ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... අර ප්‍රසිද්ධ අරලියා මලක් එහෙම තිවුනෙ ඒ කාලෙ. මතකද?

      Delete
  19. සමහර වෙලාවට බස් වල යද්දි හෑන්ඩ්ෆ්‍රී එක ෆෝන් එකට සවි නොකළත් මම නම් earbuds දෙක හයි කරගන්නවා කන් දෙකට. මොකද බස් එකෙන් බහිනකොට වැහැලා පෑව්වා වගෙයි නැතිනම්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොඳයි ශරීර සෞඛ්‍යට. මොකද තමන්ගෙ කන් දෙක වටින්නෙ තමන්ට නේ.

      Delete
  20. ගොඩාක් හොදයි බස්සි ඇත්තටම ලංකාවේ ප්‍රයිවෙට් බස් ගැන කියලා වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලුවේ... සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට!!

      Delete