138 බස් රථය කඩවත බලා ඉගිල්ලෙයි. අඩක් විවර වූ කවුලුවෙන් හමා එන සුළං රැලි මගේ අකීකරු කෙහෙරැල්ලෙන් දෑස මුවා කරයි. බසය පට්ටිය හන්දියේ නැවැත්වූ කෙනෙහි මම දෙනෙත් වසාලන කෙහෙරැල් පසකට කර අවට බලමි.
ඇය බසයට ගොඩවෙයි. පුරා සිවු වසක් එකම සරසවි බිම සැරි සැරූ හෙයින් මට ඈ කාලයක සිට හඳුනන අසල්වැසියෙක් වැන්න. ඇගේ ඉදිරියට නෙරා ආ කුස දෙස වරක් බැලූ කෙනෙහි මෙතෙක් තැන තැන සරසවි කුරුලු කිරිලියන් කෙඳිරූ රහස් ඕපාදූප සත්‍යයක් බව මට පසක් විය.
ඈ පසුපසින් බසයට ගොඩවූයේ කිරිකැටියෙක් අතින් ගත් තරුණ පියෙකි. ඔහුටද ඈ අසලින්ම අසුන් ගැනීමට ඉඩ ලැබුනි.
ගමන් මලු තුන බැරි බැරියේ ඔසවා ගත් මම ඈ සිටි ඉදිරි අසුන අසලට යමි. ඇගේ මුහුණ තඩිස්සි වී ඇත. එක් ඇසක් වැසී යන තරමට ඉදිමී නිල් පැහැ ගෙන ඇති අයුරු දකින මම සසල වෙමි. එහෙත් කිසිදු අපහසුවක් නැති අයුරින් මා හා කතාවට වැටෙන ඇගේ දෙනෙත් සතුටින් බබලයි.
"යශ් මේ ඉන්නෙ මගෙ බබා."
පෙරකී තරුණයා ඇගේ දරුවාගේ පියාණන් බවත්, ඒ කිරිකැටියා ඇගේ ළදරුවා බවත් මා හැඳින ගන්නේ එවිටය.
ඇය ගැන කවුරුන් කුමන කතා පැවසුවත් ඇය මගේ ලෝකයේ වීරවරියකි. දහසකුත් එකක් කම්කටොළු පෙරමග බලා හිඳින බැව් දැන දැනම, විවේචනාත්මක දෙනෙත් විෂ කැවූ හී සර මෙන් තම රුව පසා කරන බැව් දැක දැකම, පුරා තුන් වසක් වෙහෙසුන උපාධියද අත් නොහැර ඇය ලොවක් දිනා ඇත.
ඇය කුස ඔත් ජීවය නොනසා එය ආදරයෙන් දැඩි කළාය.
මාස ගනනකට ඉහත ලැබූ මේ අත්දැකීම හද පාරමින් අකුරු වලට හැරවුනේ නොබෝ දිනක එක් ශුද්ධවන්තියක් මා ඉදිරියේ දිගහල දේශනාවක් නිසාවෙනි. ඒ ඇය, මගේ වීරවරිය පිළිබඳවය.
"මෝඩකමනේ බන් ඔය. වෙන option නැතුවා වගේ හරියට. blah blah blah....."
"මෝඩකමනේ බන් ඔය. වෙන option නැතුවා වගේ හරියට. blah blah blah....."
ඇගේ දේශනාව තවදුරටත් අසන්නට නොහැකි වූ තැන මම පැනයක් නැගුවෙමි.
"එතකොට උඹ ඔය දෙසන්නෙ ඒකිට abortion එකක් කරන්න තිබුනා කියලද? ඒකනෙ තියෙන අනිත් option එක."
"පිස්සුද බන්? මොන පව් වැඩක්ද ඒක???" ඇගේ කටහඬ කෝපාන්විතය. නිකම් මාව මරන්ඩ වගේ!
මා ඔබෙන් අසන්නේ එකම පැනයකි. ගබ්සාවට එරෙහිව හඬ නගන ශුද්ධවන්තයන් විසින් එවන් උදාර මවුවරුන්ව සමාජයෙන් ගබ්සා කර හැරීම කෙතරම් යුක්ති සහගතද???
මීට බොහෝ සමාන අත්දැකීමක් වසර ගනනකට ඉහතදීද අත්වින්දෙමි. මා ඈ දකින්නේ ටියුෂන් පංතියකදී ය. මල් පුබුදින්නට පෙරම ඵල දරන්නට සිදුවුවත් ගහේ ගෙඩි ගහට බරක් නොවීය. නමුත් ඈ මගේ සරසවි මිතුරියටත් වඩා දරුණු ඉරණමකට මුහුණ පෑවේ මලට පරාග ගෙනා බඹරින්දු අකුලකට මුවාවී පලා ගිය නිසාවෙනි.
ඈ මගේ ඇස් ඉදිරිපිටම සමාජයෙන් ගබ්සාවට ලක්වූවාය, වරක් දෙවරක් නොව, සිය දහස් වාරයක්.
ගබ්සාවට වචනයෙන් එරෙහි වන ඔබ, එයට ක්‍රියාවෙන්ම එරෙහි වූ වීරවරියන් සමාජයෙන් ගබ්සා කර දමන්නට පෙර මොහොතක් නැවතී කල්පනා කිරීම මැනැවි. ඔබගේ පාපය, ඇයගේ පාපයට වඩා සිය දහස් ගුණයෙන් විශාල බැවිනි.