Thursday, December 25, 2014

ශීත පිළිස්සුම් (නත්තල් කෙටිකතාව)







මම කෙලවරක් නොපෙනෙන දිග බරාඳයක අරමුණක් නැතුව ඔහේ ඇවිදිමින් උන්නා. ඉදිරියට තියන පියවරක් පියවරක් පාසා දශමයෙන් දශමය හැකිලෙමින් උන්නා.


හරියටම අර ඇඳුම් සාප්පුව ඉස්සරහ ආරුක්කුවේ එල්ලලා තියෙන හදවත් හැඩේ බැලුම් බෝලයක් වගේ.  නත්තල් සැරසිලි තොග ගනනට එල්ලාගෙන ඉන්න නිසා පුරුදු කඩසාප්පු එක්වරම අඳුනා ගන්නත් අමාරුයි. බරාඳය දෙපස එල්ලා ඇති උස් හා පැහැදිලි කැඩපත්වලින් පරාවර්තනය වෙන නිල් හා සුදු පැහැ විදුලි ආලෝකය නිවෙන දැල්වෙන වාරයක් පාසා මාව තවත්, තව තවත් හැකිලෙන බව මට තේරුනා.


දැන් මම ඉන්නෙ ශූන්‍ය ලක්ෂයට ආසන්නයේ. දෙනෝදාහක් කලබල සෙනග මැද මම පේන නොපෙනෙන තිතක් බවට හැකිලෙන හැටි කිසිම කෙනෙක්ට දැකගන්න බැරි වුනා. ඉතිං මට මහ අසරණකමක් දැනෙන්න පටන් ගත්තා.


ශූන්‍යයට ආසන්නයේ පවතින පුංචිම පුංචි හදවතකට උනත් දෙනෝදාහක් මැද්දෙ තනිවෙන එක හිතට මහ බරක් විදියටයි දැනෙන්නෙ. 


ඔයා? ඔව්. ඔයා අත්විඳල නැද්ද ඒ කාලකණ්නි හැඟීම? අන්න ඒ වෙලාවට සක්‍රීය ගිනිකන්දක මධ්‍ය ලක්ෂයේ ලාවා වල දැවටිලා පැහෙමින් තියෙන හදවතක් උනත් සීතලෙන් ගල් ගැහිලා යනවා. ජීවය බිංදුවක්වත් ඉතිරි නොවුන අයිස් කුට්ටියක් බවට පත්වෙනකම්ම.


ශීත පිළිස්සුම් ; ඒ වචනයෙම තියෙන්නෙ මහා අනුකම්පා විරහිතකමක්. 


සීතලයි ශූන්‍යත්වයයි තවත් දරාගන්න අපහසු වුන තැන මම සපත්තු කඩ දෙකක් මැදින් වැටුන පටු පෙත්මගකට හැරුනා. ඒ ඔස්සේ ආලෝකයේ ප්‍රවේගයට මදක් අඩු වේගයකින් රූටාගෙන ගිහින් ෂඩාස්‍රාකාර සිමෙන්ති කැට අල්ලාපු පදික වේදිකාවට පය ගැහුව.


කන් දෙක වැහෙන්න තොප්පිය පහළට ඇදගෙන අත් දෙක කබා සාක්කු ඇතුලෙ හංගා ගත්තයි කියල සීතලෙන් සම්පූර්ණයෙන්ම අත්මිදෙන්න බැහැ. ඒත් තට්ට තනියම අර සෙනග ගංගාව මැද්දෙ පිහිනද්දි හදවතට මරණීය තුවාල එල්ල කරන්න පුලුවන් ශීත පිළිස්සුම්වල අවදානම පාළු වීදි කෙළවරකදි දැනෙන්නෙ නැහැ. 


ඒ කියන්නෙ මම දැන් ආරක්ෂිතයි.


පාර අයිනේ ඇති කොට ගඩොල් තාප්පයට හේත්තුවෙලා සිගරැට්ටුවක් දල්වා ගත්තෙ සීතල හින්දාම නෙමෙයි. මම උත්සාහකලා පූර්ණ කවාකාර දුම් වළලු ඉහළ යවන්න. ඒත් ඒ හැම දුම් වළල්ලකම මොකක් හෝ අඩුපාඩුවක් තිබුනා.


එකක් ඉලිප්සාකාරයි. තව එකක් වම් පැත්තට යාන්තම් ඇලවෙලා, ඇදවෙලා. හතරවැනි දුම් උගුරත් එක්ක පිටවෙච්ච දුම් වළලු සේරම එකකට එකක් හා වුන සර්පිලයක් වගේ.


ඇත්තමයි මට එපා වුනා. එතකොට මට පෙනුනා සිහින් මුල් පහුරු වලින් තාප්පයේ රතු ගඩොල් පසාරු කරගෙන තාප්පෙට ඇලිලා ඉන්න වැල් ගොමුවක්. දුඹුරු කොල පාට පත්‍ර අතරෙ තැනින් තැන පුංචි පුංචි දම් පාට මල් පිපිල තිවුන. ඒ දම් පැහැ මල් මට මතක් කලේ ඒකිව.






දම් පාට ඇස් තියෙන කෙල්ල. ඒකි ඇස්වල පළඳින්නෙ දම් පාට ස්පර්ශ කාච. ඒ දම් පාට කණීනිකාවන් ඈට ගෙනාවෙ මායාකාරී පෙනුමක්. ඒකිගෙ හිසකේ දිගයි. තනි කෙලින්, මේ දැන් නාන කාමරයෙන් පිටතට ආවා වගේ ඒ හිසකේ තෙතට පහලට කඩාහැලුනා. ඔන්න දැන් මට මතක් වෙනවා කවදාවත් ඇගේ කෙස්වැටියෙන් වතුර බිංදු කාන්දු නොවුනු විත්තිය. හැබැයි නිතරම ඒ කෙස්වැටියෙන් හමා ආවෙ වයලට් මල් සුවඳක්.


ඒකි මගෙ පස්සෙන් ආවෙ හරියටම
මායාකාරියෙක් වගේ. 



මුලින්ම මම ඈ දිහා බැලුවෙ තිගැස්මෙන්. හැමදාමත් ප්‍රමාද වෙලා දේශන වලට කඩාපාත්වෙන ඒකි හැම මොහොතෙම මුවෙක් වගේ දිවිල්ලේම ඉන්න බවයි මම ඒ දවස්වල හිතාන උන්නෙ. ඈ දේශන ශාලාවට කඩාවදින වේගයෙන්මයි එතැනින් පිටවුනේ. මහා හදිස්සියකින් වගේ. මහා සිනමා කෘතියක ප්‍රධාන චරිතයට පණපොවන අතරෙම ගමේ ඉස්කෝලෙ නත්තල් නාට්‍යයක අවශේෂ චරිතයක් රඟපාන්න ආව වගේ.


ඒකිගෙ ඇස් දම්පාට බව මම දැක්කෙ අහම්බෙන්. හරියටම අදට දවස් අටසිය පනස් එකකට කලින් එළඹුන සෙනසුරාදා රාත්‍රියක. 


ඒ අවන්හල පොඩියි. හැමතැනම ගලාගෙන ගියේ දේදුනු පාට දුමාරය. ඇටමිදුලු පවා වෙවුලුම්කවන සියුම් චෙලෝ නාදයක තාලයට දෙපා සොලවමින් මම දේදුන්නක අන්තිම කෙලවරේ වාඩිවෙලා උන්නෙ පුදුම තරමේ සැහැල්ලුවකින්. අන්න ඒ වෙලාවෙ තමයි හුස්ම හිරකරවන වයලට් මල් සුවඳ මගේ දකුනු උරහිසේ දැවටෙන්න ගත්තේ.



හැබැයි මම ඇස් ඇරියෙ විනාඩි විසි එකයි තත්පර හතළිස් දෙකක් ගතවුනු ගැඹුරුම හාදුවක පතුල ස්පර්ශ කරමින් ඉන්න අතරෙදි.



ඇගේ ඇස් දම් පාට පළිඟු මිණි වගේ දිලිසුනා. දේදුන්න වටේ  රැස් කකා හිටපු හැම මිනිහෙක්ගෙම, ගෑනියෙක්ගෙම ඇස් අග්ගිස්සෙන් ඉරිසියාව වෑස්සෙන බව මං දැක්කා. අන්තිමේ ඒ ඉරිසියාව දුඹුරු පැහැ උකු ද්‍රාවණක් වෙලා මුලු අවන්හලම යටකරගෙන ඉහල නගින්න ගත්තා.


අවලාද හිනාවක් අහසට විසිකරපු මම ඇගේ ඉන වටේ අතක් යවලා තදින් අල්ලාගෙන ඉන්නා අතරෙම දේදුන්නෙන් බිමට පැන්න.


ඒත්, ඒත් අවන්හලේ බිම ගලාගෙන ගිහින් තිවුන දුඹුරුපාට දියරය පතුල්වල ස්පර්ශ වෙනකොටම මාව පිළිස්සිලා ගියා. මට හිතුනෙම මේ වේදනාවට හේතුව ඒකිගෙ ඇස්වල මායා බලය කියලයි. 

ඉතින් මම පුලුවන් තරම් වීරිය යොදල ඒකිව ඈතට තල්ලු කරල දැම්මා.


එදා හිට හරියටම දවස් හැත්තෑ නමයක් ඒකි මා හඹා ආව. මම හැමවෙලාවෙම ඒ ඇස්, ඒ මායාකාර ඇස් මගහැරිය. එතකොට හිම මිදෙන්න පටන් අරගෙන. ඒත් මගේ හදවතේ තිබුනෙ පුදුමාකාර සිසිලසක්. හැඟීම් හුවමාරුවක් සිද්ද උනේම නැති තරමයි. 

බොහොම නිස්කලංක විශ්‍රාමයක් ඒක. 


අන්තිමේදි ඈ යන්න ගියා.


ශීත පිළිස්සුම්වල අවදානම දැනෙන්න ගත්ත පළමු දවස එදා. කළබලම කළබල වීදිවල දෙනෝදාහක් මැද මට පපුව හාරවන තනිකමක් දැනුනා. හරියටම මේ ඇඟිලි තුඩු ඇතුලට කාවදින සිගරට් කොටයේ අවසාන පුළිඟුවේ උණුහුම වගේ.


එදා ඉඳන් මම ඈව හොයනවා.


අරමුණක් නැති දීර්ඝ රාත්‍රීන්වල අහස දිහා බලන් ඉන්න වෙලාවට මම ඈව දැකල තියෙනව. ඇන්ඩ්‍රොමීඩා තරු පංතියට මදක් ඉහළින්, ලොකුම ලොකු දම්පාට තාරුකාවක් විදියට ඈ දැල්වෙනවා.


හිත දහිරිය කරගෙන මම ආයෙමත් නගර සැණකෙළිය පැත්තට පියමැන්නා. කන් සිදුරු පසාරු කරගෙන යන මහම මහ ඝෝෂාවක් නගර චතුරස්‍රය පැත්තෙන් පාවෙලා ඇවිත් මගේ කර්‍ණ පටහ පටලය දෙදරවන්න ගත්ත.


අන්න මට ආයෙමත් පේනවා ඒකිව. නගර චතුරස්‍රයට ඉහළින් ඇගේ ඇස්වල දම්පැහැ කාන්තිය එළි කිණිති දාස් ගාණකට ව්යෝජනය වෙලා තිවුනා. මම ඒ දිහාවටම ඇස් අලෝගෙන ඉදිරියටම ඇවිදගෙන ගියා.


නගර චතුරස්‍රය මැද්දේ විශාල නත්තල් ගහක් සිටුවලා තිබුනා. ඈ ඒ නත්තල් ගහේ උඩම රිකිල්ල මත උජාරුවට පැද්දෙමින් ඉන්නවා.


නත්තල් ගහක උසම රිකිල්ල කොයිතරම් උස වුනත් ඇන්ඩ්‍රොමීඩා තරු පංතියට වඩා සෑහෙන්න පහතයි. ඒ නිසාම මම  පා ඇඟිලිවලින් ඉස්සිලා ඈට ලංවෙන්න පුලුවන්ද බලන්න අත දිගු කලා.


අන්න ඒ ඇසිල්ලේ මගේ ඇඟිලිතුඩු නත්තල් ගහේ කෙලවරක එල්ලා තිවුන කුඩා කහපාට තරුවක කොනක ගැටුන. කිංකිණි හිනාවක් විසුරවපු ඒ කුඩා තරුව මා දිහා බලලා ඇහැක් ගැහුවා.


බර හුස්මක් ගත්තු මම ඒ කුඩා කහපාට තරුව සීරුවට නත්තල් ගහෙන් ගලවා ගත්තා. ඒ මොහොතේ මට දැනුනා උණු කෝපි සැර උණුහුමකින් මගේ ගෙල දෙපස රෝස පැහැ ගැන්වෙන බව.


හැකිලෙමින් තිබුන හදවත ආයෙමත් අසීමාන්තික ප්‍රීතියකින් පිම්බෙන්න ගත්තා. කුඩා කහ තරුව පරෙස්සමට පපුතුරේ හංගාගෙන මම ආපහු හැරුනා.


නගර චතුරස්‍රයේ යෝධ නත්තල් ගහේ මුදුන් රිකිල්ලෙ එල්ලාපු වල්ගා තරුවට වඩා මේ කුඩා කහපාට තරුව මගේ ආලින්දයේ හදාපු හුරුබුහුටි නත්තල් ගහට අපූරුවට ගැලපෙන බව තේරුම් ගියාම කාලාන්තරයකට පස්සෙ මගේ හිතටත් අකාලික සාමයක් දැනුනා.











47 comments:

  1. නොතේරෙන කවිද නොතේරෙන කෙටිකතාද වඩා හොඳ කියන ප්‍රශ්නයට උත්තරයක් ලැබූවිට මගේ හිතටත් අකාලික සාමයක් දැනෙයි

    ReplyDelete
    Replies
    1. චැහ්. දැන් නම් සිරාවටම දුකයි ඒයි. :'(

      Delete
    2. ඇයි දුක? දෙකම හොඳයි, වඩා හොඳ මොකක්ද කියල මං මේ කල්පනා කලේ. සර්පිලේද? ඉලිප්සෙද?
      කන්වලූටෙ කියල ශේප් එකක් නැද්ද?

      Delete
    3. දුක නැතුවයැ විශේෂණ පදය "නොතේරෙන" වුනාම. ;)
      හිතට අකාලික සාමයක් දැනෙනකොට ඕනෑම දුම් වලල්ලක් පූර්ණ කවාකාරයි. කන්වලූට් කියලා ජ්‍යාමිතික හැඩයක් තියෙනවද කියලනම් මම දන්නෙ නෑ. හැබැයි දුම් වළලු convoluted නේද?

      Delete
    4. නොතේරීම මගේ නොහැකියාව
      නොතේරෙනබව තේරීම මගේ හැකියාව
      නොතේරෙන එවුනුත් මේක කියවීම ඔබේ හැකියාව
      How's that for convoluted ? :-DDDD

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. කතාව අමුතුයි, ඒත්හොඳයි. අර සම්භාව්‍ය සිත්තර ජාතියක් තියෙන්නෙ ඇබ්ස්ට්‍රෑක් පේන්ටින් කියලා - නොතේරුනත් හොඳයි කියන්න ඕනෙ. මේක මයෙ හිතෙ ඇබ්ස්ට්‍රෑක් කෙටි කතාවක්.

      ශීත පිළිස්සුම කිව්වෙ - frostbite ද?

      Delete
    7. Pra :

      The comment is far more convoluted than the story. :P

      Delete
    8. නරිමොටෝ :D

      ඔව් ඔව් frostbite තමයි. ඒකට කියන හරිම සිංහල වචනෙ දන්නෙ නෑ. ශීත පිළිස්සුම් කියලා වචනයක් මම ම හදාගත්තා ඒ නිසා.

      තේරුනේ නැත්නම් ඒක කිව්වා කියල බස්සි තරහ වෙන්නෙ නෑ. මොකද මම සම්භාව්‍ය නිර්මාණ කරන කෙනෙක් නෙමෙයි, හිතෙන දේ ලියලා දාන ආධුනිකයෙක්.

      Delete
    9. තේරුනේ නෑ කියල නෙමෙයි කිව්වෙ. ඔන්න එක පාරක් කියෙව්වාම, එක විදිහකට හිතුනා, දෙවෙනි පාර කියෙව්වාම, වෙනස් විදිහකට හිතුනා. එක්කෝ කතාව ඉන්තේරුවෙන්ම ඇබ්ස්ට්‍රෑක්ට්, නැහ්නං මයෙ මොලේ මඤ්ඤං

      Delete
    10. ඒ තරම් ඇබ්ස්ට්‍රැක්ට් ගතියක් නෑ. නැත්තෙමත් නෑ. :D

      Delete
    11. //එක්කෝ කතාව ඉන්තේරුවෙන්ම ඇබ්ස්ට්‍රෑක්ට්, නැහ්නං මයෙ මොලේ මඤ්ඤං//

      3. Both?

      Delete
    12. දෙවෙනෛ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව දන්නෙ ඉතින් නරිමොටාම තමයි. :D

      Delete
  2. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    ආයෙත් කියවල බලන්න ඕනි...අපැහැදිලි වුන තැන් ටිකක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. හා හා ආයෙම නිවාඩුව කියවලා බලලාම අදහස කියන්නකෝ

      Delete
  3. අපොයි කීපසැරයක්ම කියෙවුවට සමහර තැන් ගලපගන්න බැරිවුණා බස්සි අක්කේ.
    එත් ඔයා ලියන ආරට මං ගොඩක් කැමතියි. ඒක හරි වෙනස්.
    දිගටම ලියන්න කෝමහරි ගලපගන්න බලන්නන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි.
      එච්චර හිතන්න එපා. නොතේරුන දේට වඩා තේරෙන දේ වැඩියිනෙ.

      Delete
  4. බස්සිගේ පුරුදු කතා රටාවෙන් නම් සෑහෙන්න වෙනස් කතාවක්

    ReplyDelete
    Replies
    1. බස්සි තාම ආධුනික නිසා පුරුදු රටාව කියලා එකක් තවම ස්ථාපිත වෙලා නැහැ යාලු.

      Delete
  5. බස්සීගේ වැඩ නම් එල? කතා සහ කවි ගොතන්න ඉපදිච්ච එකියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මකසි :)

      Delete
  6. සුපිරියි බස්ස්සියෝ වෙනදා වගේම.

    වචන ඇතුලේ අපිව අතරමං කරන්න උපන් හපන් හැකියාවක් තියෙන බස්සියෙක්.

    ජය වේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභී... මේ වචන මට ලොකු හයියක්

      Delete
  7. Replies
    1. හාආආයීඊඊ......!
      දැක්ක කල් විදානේ. නිට්ටඹුවට සිග්නල් ආවද?

      Delete
    2. දැකල පුරුදුයි ……

      ඒත් නිච්චියක් නෑ :D

      Delete
    3. මොකාද බොල මේ විදානපතිරණ කියන හිපාටුවා ?

      Delete
  8. අයියෝ තේරෙන්නේ නෑ . ෂර්ලොක් හෝම්ස් වගේ . ඒත් අන්තිම ටික තේරුනා . ඒටික ශෝල්ක් :) :)

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික තේරුනානම් මුල ටිකත් නිකම්ම තේරේවි වයලෝ... :D

      Delete
  9. මට සදාකාලික නින්දක සැතපෙන්න හිතුනා!

    ReplyDelete
  10. මම මේකට පට්ට ලයික්..:) :)

    දම් පාට ඇස් ඇතුළේ ඇත්තටම ආදරයක් තිබුණද දන්නේ නෑ මගේ අවාසනාවට මට නොතේරුණ..නැත්නම් ඇයි ඒ ඇස් මාව ලුහුබැන්ඳේ මෙච්චරටම..එක්කෝ මට නොතේරුණ වෙන සැලැස්මක් තිබ්බද?නිහඬ නෝන්ජලයෙක් විදියට මාව සලකලා ඉත්තෙක් කරගන්න?නැත්නම් මාව රිද්දවන්න වියරු ආසාවක් තිබ්බද?ඒකද අත දිගු කරන්න බැරි දුරින් පායලා සමච්චල් කරන්න ගත්තේ..?

    එතකොට අර කහ පාට තරුව මම නෙළා ගත්තේ ඇයි..?මං ඇත්තටම ආදරේ වුණ හින්දද නැත්නම් දම්පාට ඇස්වල මායාවෙන් හතිවැටිල උන්නු හින්දද? ඔව් මට නැවතුමක් ඕන වෙන්න ඇති..පිළිස්සෙන හීතලට වඩා හොඳ ආදරණීය උණුහුමක් ඕන වෙන්න ඇති..ඒකයි..

    (කමෙන්ටුව දිග වැඩී! බලන්නෝ මට කමා කරත්වා)

    ReplyDelete
    Replies
    1. //"එතකොට අර කහ පාට තරුව මම නෙළා ගත්තේ ඇයි..?මං ඇත්තටම ආදරේ වුණ හින්දද නැත්නම් දම්පාට ඇස්වල මායාවෙන් හතිවැටිල උන්නු හින්දද?"// සාධාරණ ප්‍රශ්නයක්

      Delete
    2. සාධාරණ ඒත් උත්තරයක් නැති ප්‍රශ්නයක්! :D :D

      Delete
    3. මායවකින් හතිවැටිලා උන්නට පස්සෙ සැනසිල්ලක් ගේන පුංචි තරුවකට උනත් හිත පුරෝලා ආදරේ හිතෙනවා.

      Delete
  11. සැනසුමක් තියෙනවා කියලා අපි හොයන හිතන මහා ලොකු දේවල් අතරේ තියෙන පුංචි දෙකට අපි නොහිතනා විදිහට හිතට සැනසුමක් ගෙන්න පුළුවන් වේවි. ඒත් එක සැබෑවටම අපේ හිතට හරියන දේද? නැත්තම් තවත් එක හිත රවටා ගැනීමක්ද?

    ReplyDelete
    Replies
    1. @ඉවාන් පවුලූශා සිරාවටම. සෑහෙන්න ගැඹුරු අදහසක් තියෙනව මේ කමෙන්ට් එකේ.

      Delete
    2. ඉවාන් පවුලූශා:
      හැමදේම තාවකාලික මායාවක් විතරයි. ඊළඟ තත්පරේදි ආයෙත් දුම් වළලු සේරම ඇදවෙන්න පටන් ගන්න හොඳටෝම ඉඩ තියෙනවා.

      Delete
    3. මනා : එහෙම තමයි ප්‍රබුද්ධ ගෙම්බෝ

      Delete
  12. නගරය මොකක්ද කියල කල්පනා කලේ

    ReplyDelete
    Replies
    1. ඒ නගරයට city of inner-peace වගේ නමක් කියමුද?

      Delete
  13. මේක බොහොම පොදු අත්දැකීමක සංකීර්ණ ලියවිල්ලක් විදියටයි මම දැක්කේ...

    ReplyDelete
    Replies
    1. ehem! ehem! වැඩකට නැති ලියවිල්ලක්. වැඩියෙ ගණන් ගන්න එපා.

      Delete
  14. සීතලට පිව්චෙනවද කියල තොපි මගෙන් ඇහුවා නේද කලින් දවසක්.. හැක්..

    ReplyDelete
    Replies
    1. මම? මේ මම?
      වෙන එකෙක් වෙන්ටෑ

      Delete
  15. ඇන්ටාක්ටික් උණුහුමකින් හිත හීතල වුනා වගේ - කතාව ගලා යනව ලාවා වැක්කෙරෙනවා වගේ - නියමයි බස්සි.

    බස්සිගෙම කතාවක්ද? අනුවර්ථනයක්ද? 

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ!! අනුවර්තනයක් කියලා ගොඩක් අය හිතලා තිබුනා රචනා ශෛලිය නිසා. නමුත් මේක නම් මගේම කතාවක්.

      Delete