Tuesday, May 19, 2015

යුද්ධය ගැන මගේ මතක







“මම ඉස්සර හිතාගෙන හිටියෙ ඉස්කෝලෙන් අස් වුනාට පස්සෙ ආර්මි එකට බැඳෙන්න.” තාත්තා කියමින් උන්නා. “ඉන්ටවිව් ගියා. ඒ කාලෙ යුද්දෙ තිබුනෙ නෑ. ඉතින් හමුදාවට බැඳෙන්න අවශ්‍ය සුදුසුකම් හරියටම බැලුවා. මං ඒ කාලෙ කෙට්ටුයි. හොඳටම කෙට්ටුයි. ඉතින් මාව තෝරගත්තෙ නෑ.”


“හොඳ වෙලාවට.” නංගි එකපාරටම කිවුවා.

“ඇයි?” මම ඇහුව.

“එහෙම උනානම් අපිට මොකද වෙන්නෙ???”


අන්න ඒක තමයි කාලයක් අපේ හිත්වල රණවිරුවො ගැන තිබුනු ආකල්පය. හැමෝම එහෙම නොවෙන්න පුලුවන්. බොහෝවිට මේ පෝස්ටුවට පහළින් අභිමානවත් කමෙන්ටුවක් දාන්න සැරසෙන මහත්වරු සහ නෝනාවරු එහෙම නොවෙන්න පුලුවන්. ඒත්, ඒ කාලෙ, අපි කුඩා කාලෙ බහුතරයක් දෙනා හිතුවෙ එහෙමයි.



****************************************



ඒ දවස්වල නිතරම රූපවාහිනියෙ දැන්වීම් ගියා යුධ හමුදාවට, නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට බැඳෙන්න තරුණ ළමයින්ට ආරාධනා කරමින්. අපිට ඒවයෙ වචන කටපාඩම්. ඒත් කවදාවත් ඒ නිතර නිතර සජ්ජායනා වුන අභිප්‍රේරක දැන්වීම් අපිව හමුදාවට යොමු කරන්න උත්ප්‍රේරකයක් උනේ නැහැ. හැබැයි, අපිත් ඒවයේ ඉන්න හමුදා අයියලා වගේ කොටන් උඩින් පැන පැන ගියා. ලෝහ රවුම් වල එල්ලිලා බාහුවලට ව්‍යායාමත් කලා. ගස් උඩ නැගලා වටේටම ඔත්තු බැලුවා. උතුරෙන් වරු ගානක් දුරින් පිහිටි ක්‍රීඩා පිට්ටනියේ ඉඳන්. නිකම්ම නෙමෙයි, ඒ දැන්වීම්වල පසුබිම් වාදනයන් පවා මුමුණමින්.





දවසක් තාත්තා කොළඹ යන්න ලෑස්ති වෙමින් ඉන්නකොට කෝල් එකක් ආවා. "කොළොන්නාවේ තෙල් ටැංකි වලට බෝම්බ ගහලා" කියාගෙන තාත්තා ටී.වී. එක දැම්ම. කළුම කළු දුමාරයක් විතරයි පෙනුනෙ. හැමෝම කම්මුල්වල අත තියාගෙන ඉන්න අතරේ මම මාර විදියට සතුටු වුනා. 


කොළොන්නාව යනු කොළඹට සමානපදයක් බවත්, බෝම්බයක් යනු නාගසාකි පොතේ (ළමා කතාවක්.) කියවෙන විදියේ පරමාණු බෝම්බයක් බවත් අනුමාන කරපු මම, ආයෙම තාත්තට මුළු දවසක්ම මාව ගෙදර තනිකරලා ‘ලොකු ලොකු රාජකාරි’ වලට යන්නට කොළඹක් ඉතිරි වී නැති බව හිතමින් සතුටු වුනා. (සමාවන්න, මම එකල මොන්ටිසෝරි යන්නේවත් නැහැ!)




****************************************



තාත්තා කොළඹ ගිය දවසක ‘දැන් ඉන්නේ *** ශොප් එකෙන් එලියට එමින්’යැයි කියමින් දුරකථන ඇමතුමක් දුන්නා. ඊට විනාඩි පහළොවට-විස්සකට පසු මම ටී.වී. එක ඔන් කරනවාත් සමගම බෝම්බයක් පුපුරා විනාශ වී ගිය  *** ශොප් එක සහ ඒ අවට දසුන් පෙන්වමින් තිබුනා. මම වහාම තාත්තට කෝල් එකක් ගත්තා. ප්‍රතිචාරයක් නැහැ. මගේ හිස බමන්නට වුනා.


“මම එතැනින් පිටවෙලා තිබුනේ පිපුරුමට විනාඩි දොළහකට විතර කලින්.” පසුව ඇමතුමක් දුන් තාත්තා කිවුවා.






අපිත් එක්ක එකට දහම්පාසැලේ ඉගෙනගත්තු යාලුවෙක් හිටියා. එයා ඕ.ලෙවල් ෆේල් උනා කියලා ප්‍රතිඵල ආපු දවසෙ එයාගෙ තාත්තා එයාට ගහලා ගෙදර ලොකු රණ්ඩුවක් ඇතිකලා. පහුවදා එයා ගෙදරින් පැනල ගිහින් තිබුනා.


මාසෙකට විතර පස්සෙ ආරංචි වුනා එයා හමුදාවට  බැඳිලා බව. හැමෝම කම්මුලේ අත තියාගත්තා. තව පාරක් විභාගෙ කරන්න තිවුන ළමයගෙ ජීවිතේ විනාස කරගත්තු කාළකණ්නියා කියල ඒ තාත්තට බැන්න. ‘එකම පුතාව මරාගත්තා’ කියල කියපු අයත් හිටියා.


ඔන්න මට තව දෙයක් මතක් වෙනවා. එයා මට වඩා යන්තමක් උස ඇති. ඒ වගේම දශක තුනකට කලින් යුධ හමුදාවට ඇතුලත්වීමේ පරීක්ෂණයෙන් “පපුවේ සයිස් එක” මදි කියල ප්‍රතික්ෂේප වුන අපේ ‘එවකට කෙට්ටු’ තාත්තාටත් වඩා බොහෝම කෙසඟයි. සුදුමැලියි.



****************************************



ඉන් පස්සේ අපි උසස්පෙළ පන්තියට ගියා. සාහිත්‍ය හෝ රංග කලාව හදාරන්න ඕනෑ යයි මම ඇවිටිලි කලත්, ඒ නෑසූ කන්ව මාව ජීව විද්‍යා පන්තියට ඇතුලත් කෙරුණා. පණුවෙක්වවත් මරන්නට අකැමති සහ බෙහෙත් ගඳට ක්ලාන්ත වන සුළු මම ඉන් පසු ගෙදරට කීවේ, “හොඳයි. නමුත් මට උවමනා අණුක ජීව විද්‍යාව හදාරන්න.” යනුවෙනුයි.


විය යුතු පරිදිම අම්මා ඊට එකහෙලා විරුද්ධ වුනා. ඉතින්, මම මගේ නොවරදින, අවසාන තුරුම්පුව ඉදිරිපත් කලා.


“දොස්තරෙක් වෙන්න ඕනෑමයි ද? මම එක කොන්දේසියක් උඩ කැමති වෙන්නම්. දොස්තරෙක් වෙනවනම් මට ආමි ඩොක්ටර් කෙනෙක් වෙන්නම ඕනෙ. කැමතිද?”


ඉතින්, මට පහසුවෙන්ම “ඕනෑ මගුලක් කරගන්ඩ” අවසරය ලැබුනා. අණුක ජීව විද්‍යාවට පැනවූ සම්බාධක අවිවාදයෙන්ම ඉවත් කර ගැනුනා.



****************************************



‘අවදානම් සහිත සති අන්ත’ ගැන පාසැල් මිතුරෙකුගේ තාත්තා, ඔහු යුධ හමුදාවේ ඉහළ නිලයක් දරන්නෙක්, අපිට අනතුරු ඇඟවුවා. නුගේගොඩ අමතර පන්ති යාම අතහැර ඒ සති අන්තවල අපි ගෙදරට වී හිටියා. බොහෝවිට සති අන්ත නිවාඩුව හමාර වෙන්න කලියෙන් කොළඹ කොතැනක හෝ පිපුරුමක් සිදුව තිබුණා.


ඔව්. අපි බියසුල්ලන්ව සිටියා. අපි යුද්ධයට පුදුම විදියට බය වුනා. උසස් අධ්‍යාපනය ලබන්න බස් එකේ කොළඹ එනතුරු මම දැනගෙන උන්නේ කොළඹ අතුරු පාරවල් ගැනයි වැඩි වශයෙන්ම. අපි හැකි හැම අවස්ථාවේම ප්‍රධාන පාරවල් මගහැරියා, ඒ බයට.





බස් බෝම්බයකින් මැරුණු කුඩා දරුවෙකුගේ මුහුණත්, යුධ බිමේ මියගිය ළමා සොල්දාදුවෙකුගේ නිසල සිරුරත් හිතට ගේන්නේ එකම කම්පාවක් නොවෙයිද? 


එදා මෙදා තුර මම එකම එක මරණයක් වෙනුවෙන් සතුටු වුනා. ඒ ප්‍රභාකරන්ගේ මරණය. නමුත්, අහසට ඔරවාගෙන සිටින ඔහුගේ විශාල ඇස් දෙක දකින මම නැවත නැවතත් තැතිගැනුනා. ඒ ඇස් වල තිබුනු උමතු වියරුව ඉබේ නිර්මාණය වූවක් ද? 


අපේ හමුදාව ඒ මිලේච්ඡ ත්‍රස්තවාදී නායකයාව මරාදැම්මා. නිවාඩුවට කැනඩාවේ සිට ලංකාවට පැමිණි තාත්තාගේ යාලුවෝ දෙන්නෙක් එදා හවස අපේ ගෙදර ආවා. රෑ වන තුරු යුධ ජයග්‍රහණය සැමරුවා. ඇපල් ජූස් බෝතලයක් වග විභාගයකින් තොරවම කටට හලාගත් නංගි, එහි වූ සැර බීමකට උගුර පිළිස්සුන බව කියමින් අඬන්නත්, වමනය කරන්නත් ගත්තා.


“මචං දැන් අපිට බය සැක නැතුව ලංකාවට ඇවිත් පදිංචි වෙන්න පුලුවන්”. ඊට සති කිහිපයකට පසු තාත්තා හමුවෙන්නට ආ නොරටක පදිංචි මිතුරෙක් කියනවා මට ඇහුනා. “මෙහෙ වැඩ ටික සෙට්ල් කරගෙන අපි පව්ල පිටින් ඇවිත් පදිංචි වෙනවා මචං, අනිවා” ඔහු නැවත නැවතත් කිවුවා. මීට දෙමසකට පෙර, තාත්තාගේ මලගෙදරට සහභාගි වෙන්නට නොහැකි වුන බව කියා කණගාටුව පළ කරමින් ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබුනා, නොරට සිට!





75 comments:

  1. බස්සි මචං...උඔ දන්නවා මම දේශපානය ගැන මෙලෝ මගුලක් දන්නෙ නැති හරකෙක් කියලා ඒත් මේ ලගදි පොඩි මෙන්ඩා ඡාතික විරයෝ ගැන මමිගෙන් අහනකොට මම කිව්වා “ඔය ඔක්කෝම අතිත විරයෝ වර්තමාන ඡාතික විරයා මහින්ද මහත්තයා කියලා (ඒකට සදු ගෙන් බැනුම් ඇහැව්වා ඒක වෙනම කතාවක්).
    මම තරම් යුද්ධයෙන් බැටකාපු දුක්විදපු කෙනෙක් නෑ..කමියා දවසක් මට කිව්වා ඒ කතාව ලියපන් පෝසට් එකක් විදිහට කියලා.
    පොඩි මෙන්ඩලා යුද්ධය අදුරනනෙ නෑ බෝම්බ දන්නෙ නෑ..මම ඒකට පිං දෙනවා ඒ මනුස්සයාට. බස්සි මචං අපි ඡිවත්වෙලා ඉවරයි මේ රට අපේ පොඩි එවුන්ට.
    මම තුන් හතර සැරයක් ට්‍රයි කරා යුද්දෙට දායකත්වයක් දෙන්න ඒත් උඔලාගේ තාත්තට වගේ මටත් බැරි වුනා.
    යුද්ධය වෙනුවෙන් කැපවුන හැම කෙනෙක්ම මට විරයෙක්.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා බොහොම ස්තූතියි මචං! ලිපිය පලකරලා හමාර වෙන්නත් කලින් කමෙන්ට් කරලා! :)

      එකම එක තැනක පුංචි වෙනසක් කරන්නද?
      //යුද්ධය වෙනුවෙන් කැපවුන හැම කෙනෙක්ම මට විරයෙක්.//
      "යුද්ධය හමාර කිරීම වෙනුවෙන් කැපවුන, නැවත යුද්ධයක් ඇතිවීම වැලැක්වීම වෙනුවෙන් කැපවෙන හැම කෙනෙක්ම මට විරයෙක්."

      Delete
    2. එකගයි..
      යුද්ධ නම් එපා

      Delete
  2. උඔගේ කවිය තේරැනේ නෑ කියපු එකට සමාව ඉල්ලලා කමෙන්ටුවක් දැම්මා උඔ දැක්කද?

    ReplyDelete
    Replies
    1. පිස්සු මෙන්ඩෝ, මොකටෑ සමාවෙන්න කියන්නෙ?! අන්න රිප්ලයි දැම්මා.

      Delete
  3. යුද්ධය නරකයි. යුද්ධ කලයුත්තේ කරන්නම දෙයක් නැත්තං. එහෙම කරපු යුද්ධයක් ඉවර වෙලා අවුරුදු හයක්. නමුත් යුද්ධ කල දෙගොල්ල අදටත් සැකයෙන්. යුද්ධය සහ යුද්ධ අවසානය වවාගත්ත අයට පින් සිදුවෙන්න.

    ReplyDelete
    Replies
    1. යුද්ධය නිමා වෙලා තියෙන්නේ භෞතිකව විතරයි. එයින් පස්සේ දිගින් දිගටම සිදුවුනේ තවමත් නිමා නොවුනු යුද්ධයේ අළු සෙවණැලි පෙන්වමින් සිදුකරන බියවැද්දීම් සහ උදම් ඇනීම්.

      Delete
  4. යුද්ධය...!
    ගොඩගැසූ මළ මිනී ගණනින්
    අල්ලාගත් ආයුධ ගණනින්
    යටකරගත් සැතපුම් ගණනින්
    මැන්නත් එය...
    මනින්නට හැකිද කවදාවත්
    දරුවකු අහිමි වූ මවකගේ සොව
    හිමියෙකු අහිමි වූ ගැහැණියකගේ විරහව
    පියෙකු අහිමි වූ දියණියකගේ පාලුව

    ReplyDelete
    Replies
    1. කොහෙත්ම බැහැ. අනිත් එක ඒ හැඟීම් ජාතියක් ආගමක් කියන රාමුවකින් බෙදා වෙන්කරන්න පුලුවන්ද?

      Delete
    2. එල ද බ්‍රා කමෙන්ටුව

      Delete
  5. අවසන් කොටසේ අවසන් ජේදයේ, අවසන් වාක්‍ය තුල තියෙනවා දැන් තියෙන මානසිකත්වය. ජයපැන් බොනකොට එහෙමයි, ඇත්තටම කරනකොට ?? මේ කතාවල මතුපිට මට නොපෙනෙන එක ගැන මට දුක හිතෙනවා. එහි ඇතුලත පේනකොට දරාගන්න බැරි දුකක් පසුතැවීමක් ඇතිවෙනවා. මම ඒ ඇතුලත නොපෙනේවා කියල පතනවා. එහෙම පේන එක දැන් කාලේ හැටියට 'ද්‍රෝහී කමක්'

    එකෙක් ඇවිත් මගේ කිසිදෙයක් නොකරන අහිංසක දරුවෙක්ට කඩුවෙන් කොටලා යනවා, හේතුව දන්නෙත් නැහැ. ඒකට මමත් උන්ගෙන් 'එකෙක්ට' කඩුවක් උස්සනවා. ඊට පස්සේ උන්ගෙන් එකෙක් අපේ පස්සේ වැටෙනවා. දැන් දම්වැල වගේ මිනිමරනවා. යහළුවෙක් කියලා එකෙක් කියනවා 'අතාරින්න එපා මචෝ ඔක්කොම කැතිගාපන්' කියල. සමහරරු හිතේ කේන්තියෙන්, සමහරු පවුලේ උන්ගේ 'පලිය' මකන්න. හේතුව මොකක් උනත් මිනිස්සු මරනවා. දැන් කවුද මැරෙන්නේ?

    මොඩයිනේ මැරෙන්නේ අපිමයි. කවදද මේ සංහාරය ඉවර වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. // එහි ඇතුලත පේනකොට දරාගන්න බැරි දුකක් පසුතැවීමක් ඇතිවෙනවා. මම ඒ ඇතුලත නොපෙනේවා කියල පතනවා. එහෙම පේන එක දැන් කාලේ හැටියට 'ද්‍රෝහී කමක්'//

      "ද්‍රෝහි කමක්" විතරක් නෙමෙයි උපයෝ, ඒක මතුපිට ඇති සීනි තැවරුම ලෙවකන්නන් අතින් නින්දාවට ලක්විමේ ටිකට් එකක්, අහේතුකව ගැරහුම් ලබන්න විතරක් නෙමෙයි, මඩ පෝස්ටර් ව්‍යාපාරවල ගොදුරක් බවට පත්වීමට පවා ලැබෙන ලයිසන් එකක්.

      මගේ ආගමේ ඉගැන්වීම්වල හැටියට මරණය කියන්නේ දුකක්, වේදනාවක්. යුද්ධය සමරනවා කියන්නේ දුකක් සැමරීම නෙමෙයිද? 'අනුස්මරණයට සහ ශෝක වීමට' විනාඩියකුත්, ජයපැන් පානයට වරුවකුත් වැය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද! ඔවුන් මියගිහින්, අපි නොමැරී බේරුන බව සැමරීම ද?

      Delete
  6. මටත් මතකයි "කොළොන්නාවේ තෙල් ටැංකි වලට බෝම්බ ගහපු දවස. කොළොන්නාව අපිට ලඟයිනේ.. මිදුලට බැස්සහම මුළු අහසම කලුපාට වෙලා තිබුනා. උඩට ගිහි දැල් යනවා දැකලා මම හොඳටම ඇඩුවලු අපිවත් ගිනි ගනියි කියලා.

    මේ පොස්ට් එකත් එක්ක යුද මතක ගොඩක් හිතට ආවා.. බලමුකො වෙලාවත් තිබුනොත් ඒ ගැන ලිනන්න.

    ReplyDelete
    Replies
    1. සමහරවිට තුශාත් මගේ වයසෙම වෙන්නැති එහෙනම්.

      මට මතක ටීවී ස්ක්‍රීන් එක පුරා තිවුන අපැහැදිලි දුමාරයක්, කම්මුලේ අත තියාගෙන හූල්ලන ආච්චි අම්මා, සේරම විනාසයි නේදැයි අහන අම්මා. (අම්මා සේරම විනාසයි කියන එකත් මම තේරුම් ගත්තේ තාත්තා ආයෙ කොළඹ ගිහින් හමාරයි කියනවා වගේ!)

      Delete
  7. බස්සිගෙ තාත්තා වගේ මමත් පොඩි කාලේ හරි ආසයි හමුදාවට. යුධ හමුදාවට නෙමෙයි නාවික හමුදාවට. විස්තර කිව්වම වයස හෙලි වෙන නිසා දැම්මම කියන්නම මම වල පයයි ගොඩ අතයි වගේ කෙනෙක්. උසස් පෙල ඉවරවෙලා ඉස්සෙල්ලාම උත්සාහ කලේ නාවික හමුදාවේ කෙඩෙට් ඔෆිසර්. යුද්ධයක් පටන් ගන්න ඔන්න මෙන්න වගේ. බුද්ධි පරීක්ශණය සමත් වෙලා, ඊලඟ පරීක්ශණ තිබ්බේ වැලිසර නාවික හමුදා කඳවුරේ. ඒ කාලේ මම ටිකක් කෑමට කෑදරයි. ඒක නිසා උස , බර එහෙම කිසි ප්‍රශ්ණයක් තිබුණේ නැහැ. හැබැයි පොඩි කාලේ දිවීමට මෙඩල් ගහපු මම දුවන එකෙන් අන්තිමයද කොහෙද උනා.

    හොඳම මතකය පීනන පරීක්ෂනය. ඒකට යොදාගන්නේ ලස්සන පූල් එකක් එහෙම නෙමෙයි කඳවුර ඇතුලේ තියෙන සෙවල පිරිලා ජරා වෙච්ච කොල පාට වතුර තියෙන ලොකු පොන්ඩ් එකක්. ඉස්සෙල්ලම පීනන්න පුලුවන් අයට පනින්න කිව්වම තමයි මට මතක් උනේ නාවික හමුදාවේ අයට පීනන්න පුලුවන් වෙන්න ඕන කියල. පීනන්න පුලුවන් අය පාස්. ඊලඟට කිව්වා බැරි අයටත් පනින්න කියලා. එකෙක්වත් පැන්නේ නැහැ. ඕන එකක් කියලා මම පැන්නා. කෙලින්ම යට ගියා. දෙවෙනි පාරද කොහෙද උඩ එනකොට ටියුබ් එකක් දැම්මා. කොහොම හරි පීනන්න බැරි අයගෙන් මම විතරයි පාස්.

    කොහොම හරි අන්තිම 15 දෙනාට තේරුනා. අන්තිම ඉන්ටවිව් එක හමුදා මූලස්ථානයේ හමුදාවේ ලොකු අය ගොඩක් ඉස්සරහ. කෙඩෙට් ඔෆිසර්ල ගත්තේ 8 ක් ද කොහෙද නිසා මට යන්න බැරි උනා. අද වෙනකොට ඒ 8 දෙනාගෙන් දෙන්නයි ඉන්නේ. මගේ හොඳම මිතුරෙකුත් එක්ක අනික් අය රට වෙනුවෙන් මැරුණා. උන්ගෙ මරණ හොරෙක් රජ වෙන්න යොදා ගත්ත එක ගැන දුකකුත්, මාව තේරුනේ නැතිනිසා අද ජීවත් වෙන එක ගැන පොඩි සතුටකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. \\උන්ගෙ මරණ හොරෙක් රජ වෙන්න යොදා ගත්ත එක ගැන දුකකුත්, මාව තේරුනේ නැතිනිසා අද ජීවත් වෙන එක ගැන පොඩි සතුටකුත් තියෙනවා.\\

      මුළු කතාවම මේ ටිකේ තියනවා. යුද්ධය පටන් ගන්න හේතුවත් දේශපාලනය(සිංහල පමණයි, බණ්ඩාරණායක. යුද්ධය නිසා හම්බකර ගත්තෙත් දේශපාලනය. අන්තිමට සැප වින්දෙ/ රජවුනේත් දේශපාලනය. පැරදුනේ යාපනේ අය විතරක් නෙමෙයි, අපිත් පරාදයි

      Delete
    2. අපේ තාත්තටත් 'හමුදා උණක්' තිබිලා තියෙනවා ඉස්සර. 'හසලක ගාමිණී' තාත්තලා එක්ක එකට මොකක්දෝ ක්ලාස් එකකට ගිය කෙනෙක්. ඒ මරණය ගැන කියවෙන හැම වෙලාවකම තාත්තා කිවුවෙ අපරාදෙ අහිංසක කොල්ලා කියලා මිසක්, "අන්න පුතේ ජාතික වීරයෝ!" කියලනම් නෙමෙයි. යුධබිමේදි මියගිය සමීපතමයන් ඉන්න ගොඩක් අයගෙ අත්දැකීම එහෙම වෙන්නැති කියලයි මම නම් හිතන්නෙ.

      Delete
    3. නරිමොටා:

      යුද්ධය නිමා කරපු නිසා රජෙක් විදියට බෞතීස්ම කරන දවස වෙනකම් එයා රටට වැඩක් කලා. "රජෙක්"? මන්දා මටනම් ඉතිහාසය විෂයට උගන්වාපු 'රජකතා' බොහොමයක් ගැන තියෙන්නේ නොපැහැදීමක්.

      Delete
    4. \\උන්ගෙ මරණ හොරෙක් රජ වෙන්න යොදා ගත්ත එක ගැන දුකකුත්, මාව තේරුනේ නැතිනිසා අද ජීවත් වෙන එක ගැන පොඩි සතුටකුත් තියෙනවා.\\

      නරිමොටා මතු කරපු Ian ගේ කතාවේ ඒ කොටසට මමත් ලයික්.

      Delete
    5. Ian / නරිමොටා ගේ කමෙන්ටු එල ද බ්‍රා

      Delete
    6. // උන්ගෙ මරණ හොරෙක් රජ වෙන්න යොදා ගත්ත එක ගැන දුකකුත් //
      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  8. අයියා පොලීසියට බැඳෙන්න යනකොට මං ශිෂ්‍යත්වේ ලියනවා.. ආන්ඩුවේ පඩියකින් හුඟක් අමාරුවෙන් ජීවිතේ ගෙවුනේ ළමයි හයක් එක්ක.. ඒත් අම්ම කවි පන්තියක් ලියුවා 'රට රකින්න යන්න එපා' කියල.. ඒකෙ කවි දෙක තුනක් මෙහෙමයි..

    // විටි විකුණන සොපි අක්කගෙ
    උඩහ ගෙදර මැගි අක්කගේ
    සිරිපාලයි ධනපාලයි
    ගියා ඊයේ හම්දාවට..

    සිල්ව මහත්තයගෙ පුතා
    අර කන්තෝරුවේ ලොක්කා
    වීරසිංහ මහත්තයගේ
    ලොකුම පුතා 'ජනවසමේ'..

    පොල් ගස් දහයක් නැගපං
    වැල්ලෙ දැලට අත ගහපං
    දිළිඳු බවම අපට හොඳයි
    රට රකින්න යන්න එපා..

    .....................
    .....................
    මහ එවුන්ගේ වියත රැකෙන
    එපා යන්න රට රකින්න...//

    ඒ මං මුලින්ම යුද්දය දැක්ක විදිය...

    ReplyDelete
    Replies
    1. කලා, ඔයාලගෙ අම්මා ඒ කාලෙම සිදුවෙමින් පවතින දේ සහ අනාගතේ සිදුවෙන්න යන දේ ගැන හරියටම දැකලා තියෙනවා.

      ඉතින් ඔය කවිය බහුතරයක් සොල්දාදු පවුල් වලට, සිංහල හා දමිල වෙනසක් නැතුවම අදාල වෙනව නේද?

      Delete
    2. අම්ම උඹ වෙනුවෙන් කවියක් ලිව්වෙ නැද්ද එතකොට? ආං ඒ කවිය දාහං අපිට කියවන්න

      Delete
    3. කලා, මම මෙතනටම ෆේස්බුකේ පලවුනු 'නලින්ද සංජීව ලියනගේ ("වෙනස් එකෙක්" කාව්‍ය ග්‍රන්ථයේ කතෲ.) රචනා කල කවියක් අමුණන්නම්.


      සෙබළ මවකගේ උදාන ගීය
      _____________________

      රස්සාවක් නොමැති වුණූ
      රජකම උදුරා ගැනුණූ
      උඹලු පුතා දුටුගැමුණූ
      රස්තියාදුවේ වැටුණූ

      ඔළුව හැරුණු අත හැරුණූ
      අතේ සතේ නොමැති වුණූ
      රටක් වටින මගෙ පුතණූ
      රටට ණයට දෙන්න වුණූ

      බිම් අඟලක් නැතත් අපට
      අපි ණයයිලු උපන් රටට
      ඒකද ඒ සටන් බිමට
      යන්න සිද්ධ වුනේ උඹට

      නැතිබැරිකම මිසක ඉතින්
      අපට කියා කිසිත් නොදුන්
      රට වෙනුවෙන් පුතා උතුම්
      හිස දන් දුන්නාලු තුටින්

      වැදූ මවට කිරි කැටියෙකි
      රටේ උන්ට රණ විරුවෙකි
      රටේ උන්ට දැනෙනවාද
      වැදූ මවට දැනෙනා දුක

      ජාතිය නම් රන් දෙවොලේ
      දෙවියන් ඇට වූ උගුලේ
      නොවැටෙන එකමයි පුතුනේ
      සුරු විරු කම නම් මෙකලේ

      රණ දෙරණේ උඹ වැටුණූ
      තැන ලේ පැල්ලම් ඇදුණූ
      ඒ පැල්ලම් ගෙන පුතණූ
      පාට කෙරෙති රජ ඔටුණූ...

      Delete
    4. ///ජාතිය නම් රන් දෙවොලේ
      දෙවියන් ඇට වූ උගුලේ
      නොවැටෙන එකමයි පුතුනේ
      සුරු විරු කම නම් මෙකලේ////// +++++++++++++++සුපර්.. මේක ඔය කියුව පොතෙ පලවුනු කවියක්ද?

      කිචී ගේ කොල්ලෝ.. මේන් එකක්...

      කොලරය ගෙවී ගිය නිල් පැහැ..... කමිසේ හැටී
      වියැකුණු කලිසමත්......... සත දහයක් නොවටී
      කැරකුණු කෙහෙ රැල්ල ගෙලතෙක් ඇතේ වැටී
      එනමුදු කළු මැණික ..............උඹ රූපයකි ඉටී ..

      හැක් හැක්.. ඕක ලියුවේ නම් පොඩි කාලේ මං ගැන.. හමුදාවට ගියැයින් පස්සේ මුල් කාලේ අපි දෙන්නම ලියුං ලියුවේ කවි වලින්.. වෙලාවක දාන්නංකෝ. :)

      Delete
  9. අන්තිම ඩිංග උඹගේ තේරුම් ගැනීම හා රටේ ස්වභාවය දැඩි ලෙසම පැහැදිලි කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! අපි තවම එතැනමයි.

      Delete
  10. ඇතැම්විට යුද්ධය ඇසීමෙන් ඇතැමෙක් සතුටු වනු ඇත
    එහෙත් මැදි වූවන්ගෙන්ම ඇසිය යුතුය යුද්ධයේ භයානක බව

    ReplyDelete
  11. යුද්දෙ පටන් ගනිද්දි අපි පොඩිහිටියො, යුද්දෙ ඉවර වෙද්දි පොඩිහිටියො ඉන්න වැඩිහිටියො.
    මේ යුද්ධය ඇතිකලෙත් ,පවත්වාගෙන ගියෙත් , නැවතත් ඇතිකිරීමට පෝර දමන්නෙත් දේශපාලකයො. සම වයසේ මිතුරන් රාශියක් අහිමිවීමේ වේදනාව වගේම දරු පැටවු නිසා මැරෙන්න බයවෙච්චි අමිහිරි කාලයක් අපිට තිබුනෙ.
    නොරටක ජීවත්වෙන උන්ගේ නැවතත් සියරට පදිංචි වීමේ යථාර්තයක් නොවන සිහිනයට අපි අනුකම්පා කලයුතුයි කියලයි නොරටක සිටින මගෙ යාළුවෙක් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොමයක් දේශපාලනඥයන්ට යුද්දය කියන්නේ බලය තහවුරු කරගන්න පාවිච්චි කරන එක ටූල් එකක් විතරක් වෙලා. යුද්ධය ඉවර කලාට පස්සෙ රට ගෙනියනවයි කියපු තැනට තවම ළඟා වෙනවා තියා හිතලවත් නැහැ.

      Delete
  12. උඹ හරි යශෝ,උඩ කමෙන්ට් එකකත් උඹ කියලා තියෙනවා වගේ මේ යුද්දේ නතර වුනේ භෞතිකව විතරයි.යුද්දේ ඇති වෙන්න තිබුණු හේතු අඩු,වැඩි වශයෙන් තාමත් තියෙනවා.

    කොළොන්නාවේ තෙල් ටැංකි වලට බෝම්බ ගහපු වෙලාවේ අහසට නැගුණු මහා දුම් කද රත්මලානේ හිටපු පුංචි අපිත් ඔලුව අහසට උස්සාගෙන බලාගෙන හිටිය හැටි මතකයි මටත්.

    කැනඩාවේ ඉන්න තාත්තාගේ යාළුවාට තාමත් ලංකාවට එන්න බැරි තවමත් අපි එයාලා දිහා සැකෙන් බලන නිසා නෙමේද?අපිට තාමත් බැරි වෙලා තියෙනවා නේද ජාතින් අතර සුහදතාව ගොඩ නගාගන්න.

    අතීතයෙන් පාඩම් ඉගෙනගනිමු.ආයෙත් නම් යුද්දෙ එපා.

    ReplyDelete
    Replies
    1. අපි ඔවුන් දිහා සැකෙන් බලනවා, ඔවුන් අපි දිහා ඒ වගේම සැකෙන් බලනවා. මේ සැකය කියන එක තරමක් දුරට හරි අඩු කොළඹ සහ ඒ අවට නගරවල විතරයි. එහෙම වෙලා තියෙන්නෙත් බොහෝදුරට ඒ මිනිස්සු අධික ලෙස කාර්යබහුල නිසා.

      මම ආයෙමත් අහන්නේ මනෝ, //බස් බෝම්බයකින් මැරුණු කුඩා දරුවෙකුගේ මුහුණත්, යුධ බිමේ මියගිය ළමා සොල්දාදුවෙකුගේ නිසල සිරුරත් හිතට ගේන්නේ එකම කම්පාවක් නොවෙයිද? //

      Delete
  13. යුද්ධය ගැන අපි හිතන් ඉන්නවට වඩා ඒක මහ නපුරු දෙයක්....කාටවත්ම මුකුත්ම ලැබෙන්නේ නැති හැමෝම අන්තිමට පරාද වෙලා යන....මන්දා බස්සි...මට කවදත් පැහැදීමක් නැහැ යුද්ධෙ ගැන....මිනිස්සු යුද්ධ කරන්න ඕනි අපි අපෙ හැඟිම් එක්ක නෙමෙයිද...ඇන් ෆ්‍රෑන්ක් වගේ කෙල්ලෝ ලංකාවෙ හිටියේ නැහැ කියන්න පුලුවන්ද...සමහරවිට ඊට වඩා දාස් ගුණයක් දුක් වෙච්ච අය...ප්‍රඹ්හාකරන් මැරිච්ච දවසේ හිත යටින් මමත් සතුටු වුනා...ඒත් ඒ සතුටක් එක්කම අපි සතුටු වෙන්නේ මනුසායෙක්ගේ මරණයක් කියන එක ගැන හිතට යාන්තමට වත් හැඟිමක් නාවා කියන්න පුලුවන්ද...මන්දා...මම මිනීමරු ප්‍රභාකරන්ට ආස නැහැ...එයා නැති නිසා අපි සැහැල්ලුවෙන් ඉන්නවා...ඒත් ම්න්දා මනුස්සයෙක් මනුස්සයෙක් මැරිච්ච එකට ජය පැන් බොන එක හොදයිද

    ReplyDelete
    Replies
    1. // මනුස්සයෙක් මනුස්සයෙක් මැරිච්ච එකට ජය පැන් බොන එක හොදයිද//

      අද උදේ එනකොට මම දැක්කා අඳුනන ගෑල්ලමයෙක් කවියක් වගේ දෝෂාරෝපණයක් ලියල දාලා මූණුපොතේ.

      ඇයට අනුව යුද්ධය කියන්නෙ වීරත්වය. මේක බහුවාර්ගික රටක් නෙමෙයි "මේ අපේ සිංහල රට!". යුද්ධෙන් මියගිය අයව සහෝදරත්වයෙන් සැමරීම "පොන්න කමක්".

      ඇගේ පියා ජවිපෙ සාමාජිකයෙක්, 89දි ඝාතනය කෙරුණු. පැටලිල්ල තියෙන්නෙ එතන. ඇගේම තර්කයට අනුව ඔවුන්වත් ත්‍රස්තවාදීන් කියලා සැමරීම තහනම් කරන්න ඕනෙද? එහෙමත් නැත්නම් "ත්‍රස්තවාදීන්" කියන්නෙ "සුළු ජාතීන්" විතරද? මේවා අහල කමෙන්ටුවක් දැම්මා විතරයි ඒක මොහොතක් ගතවෙන්නත් කලින් මකා දමලා.

      ඉතින් "උගත්" යැයි කියන මිනිස්සුන්ගේ ඔළුවල තියෙන දේවල් මේ වගේ නම් අපි සහෝදරත්වය කියන සංකල්පයට තවම සෑහෙන්න දුරයි නේද?

      Delete
  14. //එයා මට වඩා යන්තමක් උස ඇති. //

    Hmm

    ReplyDelete
  15. යුද්ධය නම් ආයෙ එපා. ආයෙ යුද්ධයක් ඇති නොවෙන්න අපි සියළු දෙනාම පටු අරමුණු වලින් තොරව එකතු වෙලා කටයුතු කරන්න ඕනෙ.
    බස්සිගේ මතක කියවද්දී මට මතක් උනේ ඒ කාලෙ ඉස්කෝල වලට බෝම්බ ගහයි කියන බයෙන් අම්මල තාත්තල ඉස්කෝල ලඟට වෙලා හිටපු හැටි. සමහර අම්මල තාත්තල ඉස්කෝල වටේ ඉන්නව මොකෙක් හරි බෝම්බ ගෙනත් හයි කරයි කියල බයේ. එතකොට අන්තිම යුද්දෙ පටන් ගත්ත කාලෙ.

    ReplyDelete
    Replies
    1. අප්පේ අපේ ගෙදර ඊට වඩා යුද්දෙ කවුද මුර කරන්න යන්නෙ කියල. මොකද අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල් එක්ක කාර්යබහුලයි. ඒ මදිවට ඩබල් ෂිෆ්ට්, මොකද මමයි නංගියි දෙන්නම ඉන්න නිසා.

      ඒ මදිවට ක්ලාස් ගිහින් එනකම් පුදුම බයකින් ඉන්නෙ. කොළඹ නෙමෙයි මීගමුවෙ ක්ලාස් ගියත් ඒ බය එහෙමමයි.

      Delete
  16. අනේ මන්දා ආයේ අපි මේ යන්නේ තවත් යුද්ධෙකටද කියලා මට හිතෙන තරම්.....යටින් හරි හරි ගේම් යනවා වගේ දැනෙනවා.කියන කරන දේවල් ටික ටික ඇහෙනකොට .මේ ජරා දේශපාලනේ නැත්තං මොන යුද්ධයක්වත් ඇති වෙන එකක් නෑ.අපේ රටේ මොන හත්තිලවුවකටවත් ජාතික ප්‍රතිපත්තියක් නෑ.ආණ්ඩු එක්ක ඒවත් මාරු වෙනවා.

    තව ප්‍රභාකරන්ලා ඇති වෙන්න පුළුවන් මේ වට පිටාවෙන්.අපි හැමෝම එකම මිනිස් කුලයක් රංචුවක් මනිස් ජාතියක් කියලා පිලි ගන්න කල්...අනිකට වඩා තමන් උසස් කියලා අනිත් අය හෙලා දකින උන් ඉන්න කල් තවත් යුද්ධ තියේවි.


    ReplyDelete
    Replies
    1. //තව ප්‍රභාකරන්ලා ඇති වෙන්න පුළුවන් මේ වට පිටාවෙන්//
      සහතික ඇත්ත අක්කා. මම මේ කියන්නෙ හැමෝටම පොදුවෙ. ඊළඟ ප්‍රභාකරන් සිංහලයෙක්, මුසල්මානුවෙක් හෝ දමිලයෙක් වෙන්න තියෙන්නෙ සමාන සම්භාවිතාවක්.

      Delete
  17. හදවතට වදින ලිපියක්... හිතේ බයෙන් ගැහි ගැහී ඉස්කෝලෙ ගියපු ගමන්බිමන් ගියපු ඒ කාලෙ මතක් වුණා....

    ReplyDelete
    Replies
    1. අපි සති අන්තයේ ක්ලාස් යද්දි විඳපු බය කුරුට්ටියා ඉස්කෝලෙ දවස් පහේම අත්විඳින්න ඇති.

      Delete
  18. මට කියන්න තියෙන්නේ වෙනස් කතාවක්. අපේ පවුලේ දෙන්නෙක් හමුදාවට බැඳුණා. යුද්ධය දරුණු වෙන්න කලින්. කිසිම බාධාවක් අකමැත්තක් ආවේ නැහැ. මා සමග එකම කණ්ඩායමට බැඳුන හතර දෙනෙක් මැරුණා. එක්කෙනෙක් ආබාධිත වුණා. යුද්දේ ඉවර වුණා. අපි ගෙදර ආවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ විචාතුමා මම "බහුතරයක්" කියන වචනෙ පාවිච්චි කලේ. හැමෝටම ඔය 'මොරාල්' එක නෑනෙ යුද්ධයක් කිවුවම.

      //යුද්ධෙ ඉවර උනා - අපි ගෙදර ආවා//

      රණ දෙරණේ උඹ වැටුණූ
      තැන ලේ පැල්ලම් ඇදුණූ
      ඒ පැල්ලම් ගෙන පුතණූ
      පාට කෙරෙති රජ ඔටුණූ..(උපුටාගැනීමකි.)

      Delete
  19. මං මොකුත් කියන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. මොනාහරි ටිකක් කියන්න අෆ්ෆා. :(

      Delete
  20. අන්තිම වාක්‍ය 2 කියන්ඩ තියන ඕක්කොම කියනව .....

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඇනෝපිලිස්!

      Delete
  21. අපි සාමය හින්ද ආතල් කඩා ගත්තු රටක්. ඒකයි හුඟ දෙනෙක් යුද්ධෙට ආස.

    ReplyDelete
    Replies
    1. හඳගමගේ කවියක් තියෙන්නෙ "හඳේ ආතල් කඩමු" කියලා.

      Delete
  22. //බොහෝවිට මේ පෝස්ටුවට පහළින් අභිමානවත් කමෙන්ටුවක් දාන්න සැරසෙන මහත්වරු සහ නෝනාවරු එහෙම නොවෙන්න පුලුවන්.// :D :D

    මේ ටිකෙන් එහා මුකුත් ටිකක් වෙලා යනකල් පෙනුනෙත් නෑ. යුද්ධය ගැන 'සරලව' (තේරෙන විදියට ) දැකපු හොඳම ලිපිය බස්සියේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩ්ඩි අක්කේ! හිහී! බලන්නකෝ ඒ ලයින් එකේ ප්‍රයෝජනේ. අනිත් පෝස්ට්වල පැන පැන නෙලපු අභිමානවත් මහත්තුරු/නෝනාවරු මෙහෙ නෑනෙ.

      Delete
  23. ඔතන තියෙන පට්ටම ජෝක් එක තමයි යුද්ධය ඉවරයි කියන එක. ඒත් එකෙක්වත් දන්නේ නෑ යුද්ධේ ඉවර නෑ, කලේ මැඩපැවැත්වීමක් පමණයි කියලා. ඒකනේ උසාවී නියෝග ගේන්නේ සැමරුම් තහනම් කරලා. යුද්දය ඉවරනම් මක්කටෙයි තහනම් නියෝග.

    ලිවිල්ල හා කනට ගැහිල්ල නම් ඉස්තරන්.. අපේ බහුතරයක් කලේ ඔය දේ තමයි. යුද්ධය හෙලා දැකීම බියගුළු කමක් නෙමෙයි. ඒ තමයි නියම වීරයෝ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. යුද්ධෙ ඉවරයි කියලයි මට හිතෙන්නේ ඒ උනාට එහෙන් මෙහෙන් බෝම්බ එහෙම ආයිමත් එන්න පුලුවන්. ඒ උනාට රට බෙදන ප්ලෑන් එක තවම ඉවර නැහැ. ලංකාවේ උතුරු කොටසත් එක්ක දෙමල රටක් හදන ප්ලෑන් එක පටන් ගත්තේ 1922 දී. ඊටත් අවුරුදු දෙකකට පස්සේ තමයි ඉන්දියාවේ මුස්ලිම් ප්ර්දේශ වෙන් කරලා පාකිස්තානය හදන අදහස එලියට ආවේ. ඒවෙලාවේ උත්සාහ කලේ සුද්දෝ යන දවසක මේ අළුත් රටවල් දෙක හදල යයි කියල. මොකක් හරි හේතුවකට පාකිස්තානය හැදුවත් දෙමල රට හැදුවේ නැහැ. ඒක නිසා මම නම් කියන්නේ යුද්ධය ඉවරයි හැබැයි බෙදුම් වාදය ඉවර නැහැ කියලා.

      ඒ බෙදුම්වාදීන් අද උත්සාහ කරන්නේ දකුණු සුඩානය හදපු ක්රැමයට එක්සත් ජාතීන් ගේ සංවිධානය සහ බටහිර රටවල් අල්ලගෙන මේ රට බෙදන්න. ඒක නිසා තමයි යුද්ධෙ ඉවරවෙච්ච ගමන් චැනල් 4 වගේ ඒවට සල්ලිදීලා යුධ අපරාධ එලියට ගත්තේ. ඒක වෙන්න නම් බටහිර රටවල් බෙදුම්වාදීන් ගේ පැත්තට තල්ලු වෙන්න ඕන. හිටපු රජාට රාජ්යටතාන්ත්රි්ක දැනීම නැති නිසා නෑදෑයෝ විදේශ සේවයට දාගෙන ඒ මදිවට චන්ද දිනන්න බටහිර රටවල් ඔරොප්පු කලා. අපි බටහිර රටවල් වලට සහ ඉන්දියාවට හිතවත්ව හිටියොත් සහ එදිරිවාදිකම් නොකළොත් විතරයි රට බෙදෙන එකෙන් වලක්වාගන්න පුලුවන්. ඒටික තේරෙන්නෙ නැති ලක්ශ 58 රටට අති භයානයකයි. සමාවෙන්න ඕන මාතෘකාවෙන් පොඩ්ඩක් ඈතට ගියාට.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. බොහොම ස්තූතියි මාතලන්!

      //යුද්දය ඉවරනම් මක්කටෙයි තහනම් නියෝග.// ඒකනෙ අෆ්ෆා. යුද්ධෙ හෙවණැල්ල තවම කන්න බොන්න දීලා ආදරෙන් පරිස්සම් කරනවනෙ මෙයාලා. දේශපාලන රැස්වීම්වලදි අළුපාට තිරේකින් වහලා පෙන්නලා මිනිස්සුන්ව බයකරන්න.

      Delete
    5. ඉයන්ගේ ලිපිය ටිකක් දුර කියවාගෙන ගියා. ගොඩක් විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනව වෙන්න ඕනෙ දේ. ඒත් අපේ දේශපාලුවො ඕවයින් සත පහක ප්‍රයෝජනයක් නොගන්නා එකයි දුක.

      හැක් හැක්! ඇමරිකාව නතිං අනේ අපිත් එක්ක ස්වාසි කින්ග් ඉන්නකම්!

      Delete
  24. අපිට යුද්දේ ඕනේ කියලා ඒ ආතතියට මුහුණ දීපු කවුරුවත් කියනවා කියලා මම හිතන්නේ නෑ.

    බස්සිලාගේ ජෙනරෙෂන් එකට වඩා අපි ඒ කාලකණ්නි කාලේ ජීවත් උනා. විලක්කුවක් වගේ උතුරත් දකුණත් ගිණි අවුලවලා හරි අවිලිලා හරි තියෙන කාලේ. අපි තරුණ වියට එනකොට අපිට කලම්බෝ ආකේඩ්, වෝකින් පාත් වෙනුවට දකින්න තිබුනේ ටයර් සෑයවල්. ඒ ටයර් සෑයවල් වලින් අපේ ජීවිත කතාව නිමා වෙන්නත් ගොඩක් චාන්ස් තිබුනා ඒ දවස්වල.

    කළු ජූලිය වෙනකොට මම තුනේ පන්තියේ. ඉස්කෝලේ වාර විභාගේ ඉංග්‍රීසි පේපර් එකට ලිය ලිය ඉන්නකොට තමයි ඈතින් දුම් රොටු නගිනවා දැක්කේ. ටික වෙලාවකින් තමන්ගේ දරුවව ගන්න ගේට්ටුව ලඟ පොරකන අම්මලා තාත්තලා අතරින් අපේ අම්මත් මතු උනා. මාවත් ඇදගෙන පහේ පන්තියේ හිටිය අක්කව ගන්න අනුලා එකට අම්ම දුවපු හැටි මට තාමත් මතකයි. ඒ දුවනකොට කාලයක් තිස්සේ අපේ කැඩිච්ච සපත්තු සෙරප්පු මහපු සපත්තු කාරයව නවරස හෝටලයට (දැන් නවරස එතන නෑ ) ටිකක් මෙහායින් පාර අයිනේ ලේ විලක් මැද මරලා දාලා තියෙනවා මගේ ඇස් දෙකට දැක්කා. අම්මා අපිට ඉඳලා හිටලා උදේට කන්න කියලා තෝසයක්, වඩයක් අරගෙන දුන්නු බෝගහ ගාව තිබුනු තෝසේ කඩේ කුඩු පට්ටම් කරලා ඇතුලෙන් බුර බුරා ගිණි ගන්නවා....ඒ අහිංසක මිනිස්සු නෙමෙයි යාපනේදි හමුදාවේ 13දෙනාව මැරුවේ ජිවිත වලින් වන්දි ගෙවන්න උනාට.....

    ඊට පස්සෙ එළබෙන කාලය රටේ මිනී ගොඩ ගැහෙන කාලයක්. අනුරාධපුරේට කොටි ගහලා අහිංසක මිනිස්සු සිය ගාණක් මරලා තියෙන නිව්ස් එක අපිට ආවේ සිද්ධිය වෙලා දවසකට විතර පස්සෙ මගේ හිතේ (ඒ කාලේ ටෙලිෆෝන් එකක්වත් තිබුනේ එහමත් ගෙදරක ). ඒ හැම දේකම පින්තූර පත්තරේ රූපවාහිනියේ දකින්න අපේ ඇස් පව් කරලා තිබුනා. ඊට පස්සෙ පිටකොටුවේ බෝගහ ගාව බෝම්බ පිපුරුම, සී.ටී.ඕ බෝම්බේ, කොළඹට කොටි ගහනවා කියලා සිදු වෙච්ච කලබගෑනිය, මරදානේ බෝම්බේ, දෙහිවල කෝච්චිය බෝම්බෙට අහුවෙලා මැරිච්ච මිනිස්සුන්ගේ මස් කඳු කළුබෝවිල ඉස්පිරිතාලෙට අරගෙන ආවේ කැන්ටර් එකක් පුරවලා. හවස හයහමාරේ විතර ඉඳලා ඉස්පිරිතාලේ පෝලිමේ ඉඳලා රෑ නමයට විතර ඒ තුවාල වෙලා හිටපු මිනිස්සු වෙනුවෙන් ලේ ටිකක් දෙන්න මටත් පුළුවන් උනා.

    අවුරුදු පහෙන් පහට ආණ්ඩු පෙරලුනා. එන එන එවුන් යුද්දේ විකුණන් කාපු එක මිසක් යුද්දේ ඉවරයක් කරන්න උවමනාවක් හැකියාවක් උන්ට තිබුනේ නෑ. යුද්දේ ඉවර කරන්න පුළුවන් නිර්භීත හමුදා නායකත්වයක් මේජර් ජෙනරල් කොබ්බෑකඩුවට, විජය විමලසිරි වගේ අය තුල තිබුනා. ඒත් ඒකට අවශ්‍යය දේශපාලන නායකත්වය බල ලෝභී පලකයන් තුල තිබුනේ නෑ. යුද්දේ ඉවර කරන හුමුදා නායකත්වයට අවශ්‍යය තල්ලුව උන් දුන්නේ නෑ.

    යුද්දෙත් එක්ක, ජීවිත අවදානමත් අතින් අරගෙන අපේ තරුණ කාලේ ගෙවිලා යන්තන් මැදිවියට එනකොට තමයි මුළු දේශයේම වාසනාවට, හරි හමුදා නායකත්වයකුත්, දේශපාලන නායකත්වයකුත් එක් තැන් වෙලා මේ විජයග්‍රහණය ලැබුවේ. අපි ලැබුව විජයග්‍රහණය යුද ජයග්‍රහණයක් උනාට ඒ ජයග්‍රහණය රැගෙන ආවේ සාමය. මගේ දශක හතරක ජීත කාලෙදි බෝම්බයක් නොපිරී මිනිස්සු තොග පිටින් නොමැරී එකදිගට අවුරුදු 6ක් ගෙවිලා තිබුනේ නෑ. ඒක සිදු උනේ පහුගිය අවුරුදු 6 ඇතුලෙදි විතරයි. ඒ කියන්නේ අපි මේ ලබපු විජයග්‍රහණය සාමයේ විජයග්‍රහණයක්. ඒක ලබා ගන්න අපි ලොකු මිලක් ගෙව්වා අපේ ජීවිත වලින්. හමුදාවේ රණවිරුවන්ගේ ජීවිත වලින්.

    ඒ පරිත්‍යාගයන් සමරන්න , ආපහු යුද්දයක් ඇති නොවේවා කියලා පහනක් දල්වන්න, කැපකිරීම් කරලා තමන්ගේ තරුණ ජීවිත තමන්ගේ දේශයේ ඒකීය භාවය වෙනුවෙන් පරිත්‍යාග කල රණවිරුවන්ට හිමි ගෞරවය ලබාදෙන්න එක දවසක් නෙමෙයි, අපි හුස්ම ගන්න හැම මොහොතේම අපි වෙත තියෙන වගකීමක්.

    ReplyDelete
    Replies
    1. ++++++++++ දුමී මේක පෝස්ට් එකක් විදියට දාපං. :)

      Delete
    2. දුමියා තරං නාකි නැති උනාට අපිත් ඔය බෝට්ටුවෙම තමයි... අපි ඉස්කෝලෙ ගියෙ ඔය බෝම්බ පිපිරෙන කාලෙ... හමුදාවට බැඳුනෙ නැති උනාට අපේ අම්මල හිටියෙත් පපුවෙ ගින්දරෙන්... තාත්තයි මාත් දෙන්නම බෝම්බ පිපිරෙන තැන් වල ඉඳල ගෙදර එන්නෙ.... අද අපෙ මලය තාත්ත කරපු රස්සාවම කරනව අම්මගෙ පපුවෙ ගින්දරක් නෑ බෝම්බ ගැන... අපෙ මහත්තය දිනපතා රට වටේ යනව මගෙ පපුවෙ ගින්දරක් නෑ බෝම්බ ගැන... අවුරුදු කීපයක් ඇතුලත ගොඩක් අයට යුද්ධයක් තිබ්බ කියලත් අමතක වෙලා... එක පැත්තකින් ඒක හොඳයි.. තව පැත්තකින් ඒක අන්තිම නරකයි...

      Delete
    3. ඒ ආතතියට මුහුණ දීපු කවුරුවත් එහෙම නොකියන බව 200%ක් විශ්වාසයි තමයි දුමී. ඒත් කිසිම තේරුමක් නැතුව හැම එකටම "අපේ ලේ කකියනවා යකෝ! මරාගෙන මැරෙනව තමා යකෝ!" කියකියා අතිශය ග්‍රාම්‍ය ප්‍රකාශ නිකුත් කරන පරම්පරාවක් නිර්මාණය වීගෙන/කරගෙන යන බව පෙනිලා නැද්ද? මම කියන්නෙ නෑ එහෙම ගිනි අවුළුවන්න හදන්නෙ සිංහලයො විතරයි කියලා. දෙමළ සහ මුසල්මානුවොත් ඉන්නවා ඔය කියන සාම්පල් එකටම අයිතිවෙන. අන්න ඒ අයගෙ 'බ්‍රේන්වොෂ්' කලේ නැත්නම්, ඔය ඔලුවල තියෙන/ඇතිකරපු තුවාල පැහැවලා ආයෙමත් සිංහල/දමිල හෝ මුසල්මානු ප්‍රභාකරන් කෙනෙක් උපදින්න පුලුවනි.

      දුමීගේ අත්දැකීම් හරිම සංවේදියි. මමත් ඉල්ලන්නේ මේ කමෙන්ටුව තව තෙල් පෝර ටිකක් දාලා පෝස්ටුවක් විදියට පල කරන්න කියලයි.

      Delete
    4. යුද්ධයක් තිබ්බා කියල අමතක වීම හොඳයි හිරු අක්කෝ. ආයෙමත් යුද්ධයක් ඇතිවීම වලක්වාගත යුතුයි කියන එක අමතක වීම තමයි අන්තිම නරක!

      Delete
  25. අතීත මතකයන් කියෙව්වා.

    වැදගත් වෙන්නේ අද මත ගොඩ නැගෙන හෙට අනාගතය ගැන ඔබේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. "අද" මත ගොඩනැගෙන "හෙට" නම් ඉතාම අපැහැදිලියි.

      Delete
  26. අර ජයපැන් බිව් කැනේඩියානු වාසී අංකල්ලාට යුද්දෙ නැතුව පාලු ඇති!

    ReplyDelete
    Replies
    1. ඒකනම් අනේ මන්දා. අද වෙනකොට ඔවුන් එදා යුද්ධයෙන් තොර ලංකාව ගැන මවපු හීන කුඩු වෙලා ඇති.

      Delete
  27. උඹ ලියලා තියෙන්නෙත් මගේ මතකේ තියෙන දේවල්මයි..

    ReplyDelete
    Replies
    1. වෙන්ට බෑ! උඹ මට වඩා අවුරුදු හැටපහක් වැඩිමල් නෙව!

      Delete
  28. මගේ අත්දැකීම් මීට ටිකක් වෙනස්. ඒ කාලේ මට දැනුම් තේරුම් කම් තියනවා... යුද්ධයක් අවශ්‍ය නම් යුද්ධය කල යුතුයි. හැබැයි යුධය වලක්වාගැනීම වැදගත්...

    ReplyDelete
    Replies
    1. වෙන කිසිම විසඳුමක් නැත්නම් යුද්ධයකට යුද්ධයකින් පිළිතුරු දෙන්න වෙනවා. හරියටම අපිට සිද්ධ වුනා වගේ. හැබැයි ඒක අපේ අවාසනාව. යුද්ධය කිසිවිටකත්, පළමු තෝරාගැනීම නොවිය යුතුයි.

      Delete
  29. නියමයි බස්සි
    http://nelumyaya.com/?p=2539

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියේ!!

      Delete