Tuesday, July 30, 2013

තිස් හතරවෙනි කොටස : බලු පූස් යාලුවෝ


කැම්පස් ජීවිතේ වැඩිම කාලයක් බස්සයි බස්සියි ගත කරල තියෙන්නෙ ජිම් එකේ. නෑ නෑ මේ ජිම් එක කායවර්ධන මධ්‍යස්ථානයක් නෙමෙයි අනේ. අපි ජිම් එක කියන්නෙ  කායවර්ධන මධ්‍යස්ථානයට යාබදව තියන කැන්ටිමට.

බස්සි කොහොමත් ලෙක්චර්ස් යන්න කම්මැලි නිසා එයාව ලෙක්චර් හෝල් එකේදි දකිනවට වඩා ජිම් එකේදි දැකගැනීමේ සම්භාවිතාව වැඩියි. නිතරම ගැවසෙන තැනකදි හමුවෙන  හැම කෙනෙක්ටම, හැම දේකටම නමක් දෙන එක බස්සිට පුංචි කාලෙ ඉඳන් තිවුන පුරුද්දක්. කාලෙ ගෙවෙනකොට හෙමින් සැරේ බස්සටත් මේ පුරුද්ද බෝ කරගන්න බස්සිට පුළුවන් වුනා.

ජිම් එකේ බස්සිට හිටපු හොඳම යාලුවො තමයි පූසො. සුදු මහත සහ අලු පාට පුල්ලි වැටුන පූසිගෙ නම ටීගෝ. මෙයා ටිකක් විතර වසයි. පේස්ට්‍රි සහ අනෙක් බේකරි නිෂ්පාදන කන්නෙ නෑ. බස්සි ආවම ළඟට වෙලා බලන් ඉන්නවා. බත් කනව කියල දැනුනොත් කකුල් දෙකෙන් හිටගෙන හාල්මැස්සෙක් ඉල්ලගන්න ට්‍රයි එකක් දෙනවා.



සුදුයි තැඹිලියි ලස්සන පූස්ගෙ නම ටෙඩී. මෙයා මුලින්ම ගැවසුනේ ආර්ට් ෆැකල්ටි එක ඇතුලෙ. බස්සිගෙ ළඟ ඉඳලාම ටෙඩී අන්තිමේදි අල වුනා. දවසක් දා හවසක බස්සිත් එක්ක ජිම් එකේ ඉඳන් සයන්ස් ෆැකල්ටි එකට ආපු ටෙඩී දිගටම එතන නතර වුනා. ළඟට ඇවිත් හලෝ ටෙඩී කීවම කෙලින් වෙලා බස්සිට අත් දෙක දෙන තරමටම මෙයා ලෙන්ගතුයි.


ටෙඩීගෙ පුතා තමයි වන්ෂොට්. පොඩි වුනාට හරි දඟයා. ලොකු බව්වන්ට උඩ පැනලා කරාටෙ ෂොට් දෙනව ඇස් දෙක මැද්දටම. බව්වො පණ එපා කියල දුවනව.

ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක්ගෙ වාගෙ හරිම නම්‍යශීලී අතපය තියෙන, කලු පූස්ගෙ තියෙන්නෙ හරිම ගුප්ත පෙනුමක්. හරියටම පුරාණ ඊජිප්තු කතාවල එන පූස්ලා වගේ. ඒ නිසයි බස්සි එයාට 'පාරාවෝ' කියලා නම තිබ්බෙ.

හුරුබුහුටි, කෙට්ටු, තැඹිලි පාට පූස්ගෙ රාජකාරිය තමයි සින්ක් පේලිය මුර කිරීම. ඒ වගේම වහලා තියන කුණු කූඩෙ පියන උඩට වෙලා නිදාගන්නත් මෙයා හරි රුසියා. ඒ හින්දයි බස්සි එයාට 'කුණු ලොක්කා' කියල නමක් දැම්මෙ.

පූස් යාලුවො වගේම බස්සිගෙ ආදරය දිනාගත්තු බලු යාලුවො සෙට් එකකුත් කැම්පස් එකේ හිටියා.

කැම්පස් කන්ද නගින තැනදිම බස්සිට මුණගැහෙන කෝපි කුඩු පාට බූල් පිරිච්ච බලු යාලුවා තමයි 'නීරෝ'. ගෙදරක හැදුන බලු යාලුවෙක් නිසා එයාට තවත් නමක් නම් තියෙන්න ඇති. බස්සා නම් කියන්නෙ බස්සි "නීරෝ..." කියල කතාකරද්දි එයා බලන්නෙ "ආන් අදත් මගෙ නම දන්නැති පිස්සි එනවා" කියනව වගෙයිලු.

අනිත් බලු යාලුව තමයි බේස් එකෙත්, ජිම් එකෙත් සමානව කාලය ගතකරන 'ටොමී'. මෙයා කලු පාටයි, දුඹුරු පාටයි. හරිම අහිංසක ඇස් දෙකක් තියෙන්නෙ.

නොකියාම බැරි අනිත් යාලුව තමයි 'ජිම්නාස්ටික්'. මෙයා අසමමිතිකයි. එක කනක් ඉස්සිලා, අනෙක පාත්වෙලා. එක ඇහැක් දිගටියි, අනෙක රවුම්. මෙයාගෙ හැකියාව තමයි ජිම්නාස්ටික් පෙන්වීම. ඔයාල දැකල තියනවද බව්වෙක් දණිස් දෙක නමලා දණ ගහනවා? මෙයා ආන්න ඒ සුවිශේෂී හැකියාව පෙන්වනව බලාගන්න පුලුවනි කැම්පස් එකේ පෝස්ට් ඔෆිස් එක ඉස්සරහට ගියොත්.

'ජිම්නාස්ටික්' ගෙ ප්‍රධාන හතුරා තමයි 'දියෝනිස්'. දිගටියි, සැරයි, නපුරුයි. ඒ හින්දමයි බස්සි එයාට 'නපුරු දියෝනිස්' කියලා නමක් දැම්මෙ.

කැම්පස් එකේ ගොඩක් අය ඒකමතිකව පිළිගන්න නමක් තියන බලු යාලුව තමයි 'එස්.බී.'. මහතයි, කොටයි. දුඹුරු පාටයි. මෙයාට ඒ නම පටබැඳුනෙ දකින ඕනෑම කෙනෙක්ව හපාකන්න පනින නිසා සහ කුණු බාල්දි ඇවිස්සීමට තියන දැඩි ආශාව නිසාමයි. කාලයක් මෙයාගෙ පිටේ "Sඹ්" කියලා කවුදෝ තීන්තෙන් පින්තාරු කරල තිවුන බවත් බස්සිට මතකයි.


6 comments:

  1. අපේ ගෙදරත් ඉන්නවා පූස් පවුලක්!

    fathy

    ReplyDelete
    Replies
    1. ගුඩු ගුඩු සහ දරු පිරිස නේද?

      Delete
  2. :D මම කියන්නම් වැඩක්. කොහෙන් හරි කවුන්ටර් එකක් ඇරලා නම් දාන්න ගන්න අනිත් අයට. ජීවින් නාමකරණය ලස්සනට කරලා තියෙනවා. අපිටත් නම් දායිද දන්නේ නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. බස්සි නම් දාන්නෙ බව්වන්ටයි පූසොන්ටයිනෙ බෙනා. අනී මන්දා බෙනාටත් හිතෙන දේවල්....

      Delete
  3. වෙන වැඩක් නැද්ද අක්කේ සත්තුන්ට නම් දානවා ඇරෙන්නේ.අපේ ඉස්කෝලෙත් පුසෝ නම් නෑ බල්ලෝ ඉන්නවා.එක බල්ලෙක් ඉන්නවා උට හැමෝම කියන්නේ කසුන් අයියා කියලා.ආර්ට් එකේ අයිති කාරයා ඒ බල්ලා තමා.මොකද කියනවනම් ඒ බල්ලා ආර්ට් එක බාර සර් ගේ.අනික් උන් ගැන නම් තැකීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. වෙන වැඩ ගොඩාක් කරන ගමන් තමයි මලයෝ බලු පූස් යාලුවන්ට නම් දාන්නෙත්... ඉතින් ඇයි එයාට 'කසුන් අයියා' කියන්නෙ? ආර්ට් එකේ කසුන් කියන නම තියන එකෙක් ඉන්නවානම් වහ කයි.

      Delete